Wednesday, March 27, 2013

කුඩා නිර්මාණයක් කළ විශාල හපන්කමක්

ඉතිහාසයේ මිනිසා මුහුණ දුන් අභියෝග අපමණය. ගින්දර සොයා ගැනීම ඔවුන්ගේ සුවිශේෂි ජයග‍්‍රහණයක් විය. එ් නිමැවුම් සිත අවදිවීමේ අවස්ථාවකි. තිරිසන් සතෙකුට වඩා වෙනස් වූ මිනිසා මහා කල්පනා කාරයෙක් බවට පත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැත. එම නිසා ඔහු තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන ලොකු කුඩා මහත් අභියෝග ජයගන්නට නිරන්තරයෙන්ම මහන්සි විය. වර්තමානයේ ද එසේමය.

ඇතැම් විටක අප ඉතාමත් කුඩා සිදුවීමකින් අපහසුවට පත් වන්නෙමු. මිටියක් නොමැති වුවහොත් ඇණයක් ගලවා ගන්නට නොහැකි වන්නා සේම හැන්දක් නොමැති වුවහොත් උණුහුම් දෙයක් මතගාන්නට හෝ අතට ගන්නට නොහැකිය. මේ අභියෝගයන් නිසා සැම විටම මිනිසාගේ වැඩ පහසුකරවන උපකරණ බිහිවීම සිදු විය. එදා මෙදා තුර මෙවැනි නිමැවුම් දහසක් නොව ලක්ෂ ගණනින් බිහිවී තිබේ.

සහසක් නිමැවුම් තරගාවලිය 2012 වර්ෂයේ දී පවත්වනු ලැබූයේ මෙවැනි නව නිපයුම් එළි දැක්වීම පිණිසය. එම ප‍්‍රදර්ශනය තරගයක් බවට පත් වූයේ එයට විශාල පිරිසක් සාභාගි වූ බැවිනි. එබැවින් එම අවස්ථාව නිපයුම් ප‍්‍රදර්ශන අතරින් විශිෂ්ටතම වෙයි. බණ්ඩාරනායක ප‍්‍රදර්ශන භූමියේ ශාලා තුනක් පුරා මුන ගැන්වූ මේ තරගාවලියට පාසල් දරුවන්ගේ සභාගිත්වයද උපරිම අන්දමින් ලැබී තිබුණි. මේ දරුවන්ගේ නිර්මාණ සැබවින්ම ප‍්‍රාථමික ගණයේ නිපදවීම් බවට පත් වන්නේ නමුදු එ් පිටුපස තිබෙන සංකල්පයන් නවීනතම වෙයි. නමුත් අවාසනාවකට මෙම නිර්මාණ හා සංකල්පයන්ට තවමත් නිසි ආරක්ෂාවක් හිමි වී නොමැත. එයට හේතුව බුද්ධිමය දේපළ පණත යටතේ ආවරණය ලැබීමෙන් පමණක් නිර්මාණයක සුරක්ෂිත බාවය තහවුරු වීමයි. නමුත් වාර්ෂිකව මුදල් වියදම් කරමින් සිය නිර්මාණ සංරක්ෂණය කර ගැනීමට පාසල් දරුවන්ට නොහැකිය. මෙය අද නව නිපයුම් කරුවන් ඉදිරියේ පවතින අභියෝගයකි.

කලූතර දිස්ත‍්‍රික්කයේ දොඩන්ගොඩ මිරිස්වත්ත මධ්‍ය මහා විදුහලේ හය වන වසරේ ඉගෙනුම ලබන අමල්ශා කන්නන්ගර දියණිය ද මෙවන් අභියෝගයන්ට මුහුණ දෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ඈ මෙවර සහසක් නිමැවුම් තරගාවලියේ දී ජාතික වශයෙන් වැදගත් නිර්මාණයක් වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගත් නමුත් එයට පේටන්ට් බලපත‍්‍රයට පවා මෙතෙක් හිමිකම් ලබා නොමැත. එහෙත් ඇයගේ නිර්මාණ දිවියේ ඉදිරි ගමනට  එය බාධාවක් නොවේ. වර්ෂ 1898 දී පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ආරම්භ වූ මිරිස්වත්ත බෞද්ධ මිශ‍්‍ර පාඨශාලාව 1962 දී නිදහස් අධ්‍යාපන පණත යටතේ රජයට පවරාගත් පසු කන්නන්ගර අධ්‍යාපන ක‍්‍රමවේදය යටතේ ඉදිරියට පැමිණි පාසලකි. කන්නන්ගර මහතාගේ සංකල්පයන් වූයේ නොමිලේ ඉගෙනුමට පහසුකම් සැපයීමත් ස්වභාෂා මෙන්ම විදේශීය භාෂා ද හොඳින් පුහුණු කරවිය හැකි නව සංකල්පයන්ගෙන් යුක්ත පරපුරක් බිහිකිරීමත්ය.

අමල්ශා ගේ පියා
කන්නන්ගර මැතිතුමාගේ ගම්පියසේ උපන්නෙකි. කුඩා කලදී ඔහු කෝච්චි පෙට්ටි වල ආකෘති තනමින් එ්වා දිවවීමට තැත් කළ නිර්මානශීලී දරුවෙකු විය. පසුව  ඔහු ගුරුවයෙකු විය. නමුත් ඔහුගේ නිර්මාණ සවිය යට ගියේ නැත. සිය පියා නිවසේ සිට තනමින් සිටින දුම්රිය පෙට්ටි දෙස ආශාවෙන් බලා සිටි අමල්ශා ගේ සිතද මේ සංකල්පයන් වෙත ඇලෙන්නට විය. මේ අවදියේ දී පාසලේද නව නිපයුම් සමාජයක් ආරම්භවූ කාලයයි. නිර්මාණකරණය හා තාක්ෂණවේදය උගන්වන මාලා පෙරේරා ගුරු තුමියගේ මග පෙන්වීම යටතේ ළමුන්ගේ  නව සංකල්පවලට වටිනාකමක්  ලැබුණි. තාක්ෂණ විෂය ධාරාව යටතේ මේවා කළත් එයට වඩා යම් දෙයක් මේ ළමුන්ට දීමට ගුරුතුමියට අවශ්‍ය විය.

අමල්ශා ගේ නිවෙස මෙන්ම අප කොයි කාගේත් නිවෙස් වල කඩෙන් ගෙනා බෝතල්වල මූඩි ගලවාගැනීමට සටනක් තිබේ.වෙසෙසින්ම මෙවැනි කරදරවල පැටලෙන්නේ කාන්තාවන්ය. ඇතැම් විටදී ජෑම් බෝතලයක මූඩියක් ගලවා ගන්නට  සැමියා එන තෙක් සිටින කාන්තාවන් අපට හමු වේ. කෙසේ වෙතත් මේ ගැටලූව අභියෝගයක් ලෙසට දුටු අමල්ශා සිසු දැරිය ලෙහෙසියෙන් මූඩි ගැලවිය හැකි උපකරණයක් ගැන සිහින මැව්වේය. එහි ප‍්‍රතිඵලය වූයේ බෝතල් මූඩි ගැලවිය හැකි සරල උපකරණයක් සිය පියාගේ ද උදව් ඇතිව නිපදවීමයි. සාමාන්‍යයෙන් රබර් පටියක්  මූඩියට තද කරගත් විට බෝතල් මූඩි ලෙහෙසියෙන් ගැලවිය හැකිය. එය අප අත්දැක තිබේ. මේ උපක‍්‍රමය ප‍්‍රයෝජනයට ගත් ඇය, තම බොතල් මූඩි ගලවනය සඳහා එම තාක්ෂණය යොදා ගත්තේය. ඉන්පසු එම උපකරණය විවිධ ප‍්‍රමාණයේ බෝතල් ගලවනයක් දක්වා දියුණු කර තිබේ. මෙම නිර්මාණය ජාතික වශයෙන් වැදගත් බව නව නිපයුම් කොමිසමේ විනිශ්චය මණ්ඩලය තීරණය කර ඇත. එය මේ කුඩා දරුවාගේ කුඩා සංකල්පයට දහිරියක් පමණි. එහෙත් ඇය ඉදිරියේ පවතින නිර්මාණ මංකොල්ලයට ඇයට පිළිතුරක් නැත. එයට පැහැදිලි වැඩපිළිවෙලක් සකස් විය යුතුය. එය මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කළ යුතු ආයොජනයකි. අමල්ශා කන්නන්ගර දියණියගේ  රන්පදක්කමට වටිනාකමක් ලැබෙන්නේ එවිටය.
මතුගම සෙනෙවිරුවන්


http://www.rivira.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි