Tuesday, March 12, 2013

බුදු සාදු බුදු සාදු සමන් වැලක් වෙන්නම්


නන්දා මාලිනියගේ මුල්ම ගීතය සංගීතවත් කළේ ඔහුයි

වේවා ඔබ මගෙ සුදු අයියා, අපේ අම්මා කොළඹ ගිහිල්ලා වැනි ළමා ගී හැඩ වූයේ ද ඔහුගෙනි
එකල දරු දැරියන්ගේ ගායන කුසලතාවන් එළිදැක්වීමට කදිම තෝතැන්නත් වූවේ ගුවන් විදුලියේ ‘ළමා පිටිය’යි. පසු කලෙක ප්‍රවීණත්වයට පත් බොහෝ ගායක, ගායිකාවන් තම ගායන දිවියට එදා නියත විවරණ ලැබුවේ ‘ළමා පිටියෙනි’.
සිරි අයියා (අධිනීතිඥ යූ. ඒ. ඇස්. පෙරේරා) කරු අයියා (කරුණාරත්න අබේසේකර) එදා ‘ළමා පිටිය’ මෙහෙයවද්දී මධුර තනු නිමවමින්, එහි සංගීතමය පාර්ශවය හැඩවැඩ කරන්නට ඔහුගෙන් ලැබුණේ අමිල දායකත්වයකි. අද පවා ඔහුගේ නාමය සිහිපත් කරන විට අප සිත්හි ඇති වන්නේ කිසියම් ගෞරවනීය හැඟීමකි.


‘බුදු සාදු, බුදු සාදු
මම සමන් වැලක් වෙන්නම්’
මේ විශාරද නන්දා මාලිනිය ගැයූ පළමු ගීතයයි. අසෝක කොළඹගේ ලියූ ඒ ගීතය සංගීතවත් කළේ ඩී. ඩී. ඩැනීය. ඒ ගීතය සේම අදටත් ජනප්‍රිය තවත් ගීත රැසක්ම ඩී. ඩී. ඩැනීගේ නිර්මාණ ප්‍රතිභාව ඔස්සේ ලාංකේය ගීත සාහිත්‍යයට එක්ව තිබේ. ‘අපෙ අම්මා කොළඹ ගිහිල්ලා’, ‘මමයි රජ කාලේ විහිළු කළේ’, ‘සුරතල් අපේ දැනීලා’ අදටත් ජනප්‍රිය එවැනි ගීත කිහිපයකි.
පියාණන් වෙනුවෙන් මෙවැනි කර්යයක් කරන්නට ඔබ පෙළඹෙන්නේ විශේෂිත කරුණක් මුල් කරගෙන?
ඔව්, අද ඉතිහාසය හුඟක් දුරට වැලලිලා තියෙන්නේ. ඒ ඉතිහාසය නැවත උඩට ගන්න එක තමයි මගේ මූලික පරමාර්ථය. පාසල් වියේ පටන්ම තාත්තගේ ඉතිහාසය, ඉගෙන ගත් ගුරුවරුන්, ඔහුගේ නිර්මාණ දායකත්වය හා ගුවන් විදුලියේ සේවය කළ කාලය පිළිබඳ හුඟක් තොරතුරු මේ පොතට ඇතුළත් වෙනවා.
ඒ වගේම තාත්තා නිර්මාණය කළ ජනප්‍රියම ගීත විස්සක පදමාලා සහිත ස්වර ප්‍රස්ථාරත් මේ පොතට ඇතුළත්. සංගීතය හදාරන ළමා පරපුරට එය අතිශයින් ප්‍රයෝජනවත් වේවි. සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේම විශේෂ ලිපිත් මේ ග්‍රන්ථයට ඇතුළත් කර තිබෙනවා.
ඩී. ඩී. ඩැනී ගුවන් විදුලියට සම්බන්ධ වූයේ 1947 වසරේ එය බොරැල්ල, කොටා පාරේ පිහිටා තිබූ කාලයේය. 1949 දී ගුවන් විදුලිය ටොරින්ටන් චතුරශ්‍රය අසලට ගෙන එද්දී ඩී. ඩී . ඒ සමඟම ගුවන් විදුලිය වෙත ඇදී ආවේ මහා මෙහෙවරක ආරම්භය සනිටුහන් කරමිනි.
පී. බී. ඉලංගසිංහ තමයි පාසල් වියේ මගේ මුල්ම සංගීත ගුරුවරයා. බී. එච්. ද සිල්වා, එඩ්වින් සමරදිවාකර මගේ සෙසු සංගීත ගුරුවරු. මම ගුවන්විදුලියට සම්බන්ධ වුණු මුල් අවධියේ වින්සන්ට් පෙරේරා කියන මැන්ඩලින් වාදකයා මට ගොඩක් උදවු කළා. වසන්තා සන්දනායක, සී. ටී. ප්‍රනාන්දු, කිංස්ලි ජයසේකර, සුසිල් ප්‍රේමරත්න වගේ අය ඔවුන්ගේ සරල ගී වැඩ සටහන් සඳහා වාදකයකු විදිහට නිතරම මාව සම්බන්ධ කර ගත්තා.
ඩී. ඩී. ඩැනී සිය අතීතයෙන් බිඳක් වරෙක ප්‍රවීණ මාධ්‍යවේදී ආනන්ද පද්මසිරි සමඟ ‘සත්සර’ පුවත්පතට එසේ හෙළි කර තිබිණ. සැබැවින්ම ඩී. ඩී. ඩැනී යනු සංගීත කලාවේ අංශ කිහිපයක් නියෝජනය කළ සුවිශේෂ චරිතයක් බව අද පරපුර නොදනිතත් පැරැන්නෝ සක්සුදක් සේ දනිති. හේ විශිෂ්ට බටනලා වාද්‍ය ශිල්පියෙකි. එමෙන්ම ‘ඒ’ ශ්‍රේණියේ ගුවන් විදුලි ගායන ශිල්පියකු ද වේ. ඔහු ගැයූ ගී අතරින් චන්ද්‍රා කබ්රාල් සමඟ ගැයූ ‘වේවා ඔබ මගෙ සුදු අයියා’ අදටත් ජනප්‍රිය ගීයකි.
ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ප්‍රථම සිංහල බටනලා වාද්‍ය ශිල්පියා මගේ පියා. ඊට කලින් දමිළ වාද්‍ය ශිල්පියෙක් සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. නමුත් තාත්තා තමයි වැඩිපුරම ගීත පටිගත කිරීම්වලට දායක වෙලා තියෙන්නේ. තාත්තා වසර හතළිහක් ගුවන් විදුලියේ සේවය කරලා විශ්‍රාම ගියාට පස්සෙත් ‘ළමා පිටියේ’ වැඩසටහන් කිහිපයක්ම කළා. ‘ළමා පිටිය’ ට ඒ තරම්ම ඔහු ආදරෙයි.
ඩී. ඩී. ඩැනී වැනි විශිෂ්ටයන්ගේ අගය එදාටත් වඩා අපට දැනෙන්නේ අද වැනි දවසකය. වර්තමානයේ බිහිවන ‘ළමා ගී’ දෙස බලන විට එදා නිර්මාණය වූ ගීත ළමා මනසට කෙතරම් ගෝචරදැයි අපට සිතේ. ඩී. ඩී. ඩැනී සංගීත ශිල්පියා අතින් නිමැවුණු ඒ සොඳුරු, මියුරු ළමා ගීතාවලිය තවත් පරම්පරා කිහිපයක දරු දැරියන්ගේ ‘ළමා ලෝකය’ සත්සර මහිමාලංකාරයෙන් වර්ණවත් කරනු නිසැකය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි