Saturday, March 30, 2013

කාටුන් නැරඹීමට ඇබ්බැහිවූ දරුවන්ගේ මොළයට සිදුවන දේ

කාටුන් නැරඹීමට ඇබ්බැහිවූ දරුවන්ගේ මොළයට සිදුවන දේ
නයනා ගුණවර්ධන
ව්‍යාපෘති නිලධාරි
ජාතික අධ්‍යාපන ආයතනය


"නැන්දේ.... අර බලන්න.... අර.... අර.... ලස්සන සමනලයෙක් එයාගේ පිහාටු හරියට දේදුන්නක් වගේ....
අර අලියාගේ කන්දෙක හරියට කුල්ලක් වගේ.... යනුවෙන් තොරතෝංචියක් නැතිව මා සමඟ කියවන "නෙතු" දුව ළඟකදී සිට අපේ නිවෙසට නොපැමිණෙයි.
ඇයි? නෙතු ඔයා දැන් අපේ ගෙදර එන්නේ නැත්තේ අර ගහේ බට්ටිච්චෙක් පැටව් දාලා. මම ඇසුවෙමි.
නැන්දේ.... මම දැන් කාටුන් බලන වේලාවනේ පස්සේ එන්නම්...

කාටුන්
මා හට කාරණාව පසක් විය. "කාටුන්" නිසා පුංචි නෙතුගේ ලෝකය වෙනස් වී ඇත. වත්ත පහළට ගොස් කුරුල්ලන් දිහා බලා කවි කියූ නෙතු දැන් වෙනස් වී ඇත. ඇය දැන් සමනලුන්ගේ පාට ගැන හොයන්නේ නැත. ඇයගේ ලෝකය වෙනස් වූයේ.... ඇයගේ නිර්මාණශීලී සිතුවිලි වෙනස් කිරීමට රූප පෙට්ටිය ගෙන දුන් ලෝකය, ඇයගෙන් උදුරාගෙන ඇති නිසාය.

ළමා ලෝකය
ළමා ලෝකය සුන්දරය. ළමා කාලයේ අප ලබන බොහෝ අත්දැකීම් තවමත් අප මතකයේ සදා අමරණීයයි. යහළුවන් සමඟ වෙල් ඉපනැල්ලේ දුව පනිමින් මවුපියන් සමඟ කෙළිදෙළින් ගතකළ ඒ සුන්දර ළමා කාලය ආපසු එනවානම් කොයිතරම් සුන්දරදැයි අපට සිතේ. පරිසරයේ ඇති සුන්දර වස්තූන් පිළිබඳ අපි කතා කිව්වේ.... ඒ සුන්දරත්වය සජීවීව අත්දුටුව නිසාය.
එදා අපේ ලෝකයේ වීරයින් වූයේ මවුපියන්, ගුරුවරුන්ය. එසේත් නැත්නම් යහපත් චරිත ලක්‍ෂණවලින් පිරිපුන් බාප්පා හෝ මාමාය. එදා "අඹයහළුවෝ" ළමා පොතෙහි නිමල්ට "මඩොල්දූවේ" ජින්නා"ට අපි ආදරය කළේ ඔවුන්ගේ වීර ක්‍රියාවලටය. අනගාරික ධර්මපාලතුමා, එස්. මහින්ද හිමි, කුමාරතුංග මුණිදාස වැනි මහා ප්‍රාඥයන්ගේ චරිත කතා අප එදා කියවූයේ නොඉවසිල්ලෙනි.

වීරපුරන් අප්පු සහ බෙන්ටෙන්
වර්තමානය මීට හාත්පසින්ම වෙනස්ය. ළමයින්ගේ ලෝකයේ සුන්දර මතක සටහන් පරිගණකයේ හිරවුණි. ළමයින් පොත්පත් කියවන්නේ විභාගය සමත්වීමටය. ශිෂ්‍යත්ව විභාගය සමත් වීමටය. ළමාලෝකයේ වීරයන් වී ඇත්තේ බෙන්ටෙන්, සුපර්මෑන් ස්කුබිඩූලාය. වීරපුරන් අප්පු ගැන කියන විට අපේ දැන් ළමුන් සිනා වෙති. මන්ද පුරන් අප්පු බෙන්ටෙන් මෙන් උඩින් නොයන නිසාත් සතුරන්ට වෙඩි නොතැබූ නිසාත්ය. දවසේ වැඩි වේලාවක් රූපවාහිනිය නරඹන දරුවන්ගේ ලෝකය වෙනස් වන්නේ කෙසේද? විද්‍යුත් මාධ්‍යය ළමා ලෝකය මේ තරම් වෙනස් කළේ කෙසේද? අප කතාබහ කළයුතු කාලය පැමිණ ඇත. ඒත්.... මේ පිළිබඳ මවුපියන් වන අපට සිතන්නටවත් වුවමනා නැත. ටී. වී. එකේ යන ඕන දෙයක් දරුවන්ට හිරිකිතකින් තොරව පෙන්වීමට අපේ මවුපියන් සැදී පැහැදී සිටී.

කාටුන් බැලුවම වෙන දේ
රූපවාහිනී නාළිකාවල දරුවන්ට 50%ක්ම නැරඹීමට ඇත්තේ කාටුන්ය. උදෑසන 5.00 සිට 9.00 දක්වාත් සවස 3.00 සිට 5.00 දක්වාත් දරුවන්ට විවිධ කාටුන් බැලීමට ඉඩ සලසා ඇත. වයස් භේදයකින් තොරව මවු තුරුලේ කිරි බොන දරුවාගේ පටන් බොහෝ දරුවන් උදෑසන අවදිවන්නේ කාටුන් ලෝකේ වීරයන්ගේ දක්‍ෂතා බැලීමටය. ක්‍රීඩා කිරීම, ආහාර ගැනීම ආදී සියලු කාර්යයන් සිදුවන්නේ රූපවාහිනිය නරඹමිනි. මෑත කාලයේදී මවුපියන් කරන වරදක් පිළිබඳ ඔබේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.... ළමයා හසුරුවා ගැනීමට පහසු මඟක් ලෙස සලකා දරුවා රූපවාහිනිය ළඟ වාඩිකර තබයි. එසේත් නැත්නම් ආහාර ගැනීම සඳහා පහසු මඟක් ලෙස දරුවාව රූපවාහිනිය, CD හෝ DVD නැරඹීමට යොමු කරයි. මෙහිදී මවුපියන්ගේ බලාපොරොත්තුව වන්නේ කුමක්ද? දරුවාට ආහාර ලබාදීමයි. මෙහිදී දරුවාගේ අවධානය රූපවාහිනිය වෙත යොමු කරවමින් ආහාර කැවීම සිදුකරයි. වසරකට අඩු කුඩා දරුවන් පවා රූපවාහිනියට නෙත් යොමු කරමින් ආහාර ගනී. මෙහිදී දරුවාට ආහාරවල රසයක් නොදැනේ. මනස වෙනත් අතකට යොමු කරවමින් කුස පිරවීම දරුවාගේ පෝෂණයට මෙන්ම මොළේ වර්ධනයට බලපාන බව ඔබ මොහොතකටවත් සිතුවාද?

හොඳින් සවන් දෙන දරුවන්
මිනිස් මොළයේ ක්‍රියාශීලීම වේලාව උදෑසන බව ඔබද හොඳින් දන්නා කරුණකි. "සවන්දීම" තුළින් මතකයේ තබාගැනීම දරුවාගේ මොළේ වර්ධනයට ප්‍රබල සාධකයක් බව මීට පෙර 'ආර්යා' ලිපිවලින් අප සාකච්ඡා කළෙමු. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය හරහා ලැබෙන බොහෝ අත්දැකීම් ඉක්මනින් මතකයෙන් ගිලිහෙන බව අධ්‍යාපනඥයන්ගේ මතයයි. හොඳින් "සවන්දෙන" දරුවා තුළ සිතීමේ බහැකියාව වැඩි බව ඔවුන් පෙන්වා දී ඇත.

යාන්ත්‍රික අධ්‍යාපනය
දරුවන් අධ්‍යාපන ලබන්නේ ක්‍රියාශීලී අත්දැකීම් තුළිනි. මෙවැනි දරුවන් එකතැන සිටිමින් කම්මැළි කමෙන් ආස්වාදය ලැබීමට පුරුදුවීමෙන් දරුවන් තුළ ඇති සක්‍රියව, ක්‍රියාකාරීවීමේ සහජ හුරුව, ඉබේම අඩපණවේ. යාන්ත්‍රික අධ්‍යාපනය පුරුදු කටපාඩම් කිරීම වැනි ඉගෙනුම් පුරුදුවලට දරුවා නිරායාසයෙන් යොමුවන්නේ අධ්‍යාපන ක්‍රියාවලියේ සජීවී බවින් බැහැරවූ විටය. රූපවාහිනිය බැලීමෙන් දැනුම ලබාගැනීමට උදව්වක් ලැබිය හැකිය. නමුත් මෙය අත්‍යවශ්‍යය ඉගෙනුම් ආධාරකයක්, මෙවලමක් නොවේ.

ගුණාත්මක වැඩසටහන්
දරුවන් සඳහා නිර්මාණය වූ බොහෝ රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ DVD පට අධ්‍යාපනික ගුණාත්මක වටිනාකම නැති බව පෙනේ. මේ අතර ලොව පුරා ඉතාමත් ජනප්‍රිය වූ "සෙසමිස්ටී්‍රට්" වැනි ඉංගී්‍රසි අධ්‍යාපනික වැඩසටහන්ද තිබෙන බව කිවයුතුයි. මේවා ඵලදායීව දරුවන්ගේ අධ්‍යාපනයට යොදාගත හැකිය. එබැවින් මෙම වැඩසටහන්වල ගුණාත්මකභාවය පිළිබඳ මවුපියන් වන ඔබට වැටහීමක් තිබිය යුතුය. ඇබ්බැහි වීමකින් තොරව යම්කිසි පාලනයකින් යුතුව දරුවන්ට රූපවාහිනී වැඩසටහන් නැරඹීමට සැලැස්වීම පිළිබඳ මවුපියන් වන ඔබ සැලකිලිමත් විය යුතුයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා පවසන ආකාරයට අමෙරිකාව, එංගලන්තය වැනි බටහිර රටවල, මිනිසුන් යුදහමුදා සේවයට යෑම අඩු බැවින්, ඒ සඳහා ඔවුන් කුඩා අවධියේ සිට දරුවන් හුරු කිරීමට, ඒ සඳහා කැමැත්තක් ඇති කිරීම සඳහා බැට්මෑන්, සුපර්මෑන්, ස්පයිඩර්මෑන්, වැනි කාටුන් චිත්‍රපට නිර්මාණය කර ඇති බවයි. රූපරාමු හා දර්ශනවල වේගවත් බව, අස්වාභාවික සිදුවීම් දරුවන් නැරඹීමෙන් ළමයා තුළ ඇති ස්වාභාවික චින්තන හැකියාවන් මොටවිය හැකිය.

කාටුන් චිත්‍රපටවල එන චරිත, අවස්ථා හා සිදුවීම් දරුවන් අත්හදා බැලීමට යෑම හා ඒවා අනුකරණය කිරීමට යෑමෙන් විවිධ අනතුරුවලට මුහුණ පෑ අවස්ථා අපට අසන්නට දකින්නට ලැබේ. නිරන්තරව කුඩා දරුවන් මෙයින් මුදවා නිරන්තරව අධ්‍යාපන ක්‍රියාවලියට යොදවා ගැනීම මවුපියන් වන ඔබගේ වගකීමකි. දරුවන් නරඹන ටෙලි නාට්‍යය, චිත්‍රපට, වීඩියෝ ගේම් පිළිබඳ දැඩි සැලකිල්ලක් යොමු කරමින් හොඳ දේ හොඳ විදියට හොඳම වේලාවට දීමට හැකිනම් ඔබට දක්‍ෂ දරුවෙකු බිහිකර ගත හැකිය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි