Friday, March 29, 2013

පුංචි ළමයින්ගේ සතුට මා ලබන සම්මානයයි


පුංචි ළමයින්ගේ සතුට මා ලබන සම්මානයයි

ප්‍රවීණ හඬ කැවීම් ශිල්පී පරාක්‍රම පෙරේරා
“සූටි බූටි කොට කලිසන්
රෝල්ස් රොයිස් ගමන් බිමන්
අද පැදුරේ හෙට මැදුරේ
පිස්සු පූසා මේ...
පිස්සා මේ... පිස්සා මේ...
පිස්සු පූසා මේ
ගීතයත් සමඟ අපේ මතකයට නැඟෙන්නේ පිස්සු පූසාගේ හඬයි. පිස්සු පූසා රූපවාහිනි වැඩසටහනක් වුව ද රූපයට වඩා එහි දෙබස් අප මතකයේ රැඳී ඇත්තේ එහි පැවති හාස්‍ය මුසු අපූර්වත්වය නිසාමය.
“පුරු පුරූ... මාළු කට්ටා අපි දැං වැඩ පටාං ගන්නයි යන්නේ...”
අප මතකයේ රැදි ඒ පූස් ලොක්කාගේ හඬෙහි සැබෑ හිමිකරුවා වන්නේ ප්‍රවීණ හඬ නළුපරාක්‍රම පෙරේරාය. එපමණක් නොවේ. බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ‘දොස්තර හොඳ හිත’, ‘ගලිවර්ගේ සුවිසැරිය’, ‘මල්ගුඩි දවස’ හැරුණුකොට, ‘සුජාත දියණිය’, හි ඩුක්කු මාමා මෙන් ම මේ දිනවල විකාශය වන ‘අභීත දියණිය’ නාට්‍යයේ දොංඊ වෙනුවෙන් නිතර කරදර වන සංගීත අංශයේ ප්‍රධානියා සඳහාත් හඬ රංගනයෙන් දායක වී ඇත්තේ මොහුය.
“පුංචි දවස්වල මට පොත් කියවන එක වගේ ම ගුවන් විදුලියට ඇහුන්කන් දීමේ පිස්සුවක් තදටම තිබුණා. පාරක ගියත් ගුවන් විදුලියක හඬ ඇහෙනවා නම් නතරවෙනවා. අපේ පවුලේ ඥාතියෙක් සිටිනවා ආරියදාස පෙරේරා කියලා එතුමා අදටත් කලා කටයුතු වලට සම්බන්ධයි. ආරියදාස මාමා ගෙදර ආවම මම කරදර කරනවා ගුවන් විදුලියට එක්ක යන්න කියලා ඒ වනවිට මට අවුරුදු 12 ක් විතර ඇති මේ විදිහට ගුවන් විදුලියට ගිය මට ළමා පිටියට සම්බන්ධවීමේ අවස්ථාව හිමි වුණා.
කරු අයියගේ ළමා පිටියේ මට කරන්න දුන්නේ, පිටතින් එවන නිර්මාණ ඉදිරිපත් කිරීම. කවි, කතා, රචනා මේ විදිහට ඉදිරිපත් කළා. කිසි විදිහකින්වත් වැරැද්දකට ඉඩක් නෑ. වැඩසටහන සජීවීවමයි විකාශය වන්නේ.
සමහර දවස්වලට කරු අයියගෙන් හොඳ ටොක්කක් හම්බවෙනවා ඒ උච්චාරණ වැරදි නිසා. එදා ටොකු ලැබුණත් කරුණාරත්න අබේසේකර මහත්තයා අපිට හොඳ දැනුමක් ලබාදුන්නා. ඒ දිනවල එතුමා පටන්ගත්තා “ජිල් ජෝනා හා වැන්දබෝනා” නමින් ගුවන් විදුලි නාට්‍යයක්. ඒකේ වැන්දබෝනාගේ චරිතය රඟපෑවේ මම. ඒක හරිම හාස්‍යජනක කතාවක්. ඒ දවස්වල ළමයින් අතර ඒක ජනප්‍රිය වුණා. එතැනින් පස්සේ කරුණාරත්න අබේසේකර මහත්තයා කළ නිර්මාණ ගණනාවකටම දායකත්වය ලබාදෙන්න මට හැකි වුණා.s
‘මඩොල්දූව‘, ‘අඹයාළුවෝ’ ඒ දවස්වල ගුවන් විදුලියේ ළමා රංගපීඨයෙන් ඉදිරිපත් කළා. මේ නාට්‍ය දෙකේම මම රඟපෑවා. මඩොල්දූවේ ජින්නාගේ චරිතය රඟපෑවේ මම. උපාලිට රඟපෑවේ රෝහණ සිරිවර්ධන. දවසක් මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කරු අයියත් එක්ක කියලා තිබුණා මාවත් රෝහණවත් බලන්න ආසයි කියලා. අපි දෙන්නා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ගේ ගෙදර ගියා ඒ වෙලාවේ අපිව පිළිගත්තේ හරිම ආදරෙන්.
“ප්‍රේමා මෙන්න ඇවිල්ලා මගේ ‘මඩොල් දූවේ’ උපාලියි ජින්නයි” කියලා එතුමාගේ බිරියටත් කතා කරලා අපේ චරිත ඉදිරිපත් කිරීම ගැනත් ප්‍රශංසා වෙන් කතා කළා.”
පරාක්‍රමගේ හඬින් ඉදිරිපත් වූ ගුවන් විදුලි නාට්‍ය චරිත අතර “හන්දියේ ගෙදර” රසිකයින්ට තවමත් මතකයි. ඒ පිළිබඳව පරාක්‍රම පැවසුවේ...
“ඒ නාට්‍යය ලිව්වේ ආනන්ද සිරිසේන. මම එහි ඉදිරිපත් කළේ නවරත්නම්ගේ චරිතය. ඒ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.”
පරාක්‍රමගේ ළමා පිටියේ මිතුරන් අතර ප්‍රේමකීර්ති ද අල්විස් සුවිශේෂී මිතුරෙක් වුණා. රූපවාහිනිය ආරම්භ වීමෙන් පසුව ටයිටස් තොටවත්ත මහතාට පරාක්‍රමව හඳුන්වා දෙන්නේත් ප්‍රේමකීර්තියි.
පරාක්‍රම හඬ නළුවෙකු වුවත් ඔහු රැකියාව කළේ කොළඹ මහ නගර සභාවේ. පසුගිය දිනෙක පරාක්‍රම එහි සේවයෙන් විශ්‍රාම ගියා. ඔහු මහ නගර සභාවේ සේවයේ නියුතුව සිටියේ වැඩ පරීක්ෂක ලෙසයි. වසර 42 ක පමණ කාලයක් මහ නගර සභාවේ කළ මෙහෙවර මෙන් ම කලාකරුවකු ලෙස ඉටු කළ සේවාව අගයා පසුගියදා කොළඹ මහ නගර සභාව පරාක්‍රම වෙනුවෙන් උපහාර උලෙළක් සංවිධානය කර තිබුණා. එදින නගර ශාලාව ඉදිරිපිට ඇති ජාතික ධජය එසවීමේ අවස්ථාව ලබාදී තිබුණේත් පරාක්‍රමටයි.
පරාක්‍රමගේ කට හඬින් ඉදිරිපත් වන චරිත බොහෝ දුරට එකිනෙකට වෙනස්. අප ඒ පිළිබඳවත් විමසුවා.
“මම මුලින් චරිතගේ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කරනවා මේ දවස්වල ‘අභීත දියණිය’ මම රඟපාන චරිතය හරිම කලබලකාරියි. වෙලාවකට අඬනවා වෙලාවකට හිනාවෙනවා. ඒ චරිතයේ තරමක මෝඩ විසුළු ස්වභාවයක් තිබෙනවා. ඒ බව ඉස්මතු වෙන ආකාරයටයි මම මගේ හඬ යොදාගත්තේ. ඒ නිසා මගේ ස්වභාවික හඬ ඊට ගැළපෙන්නේ නැහැ. මම වෙනම හඬකින් දෙබස් උච්චාරණය කරනවා.”
මේ වනවිට පරාක්‍රමගේ හඬ නළු ජීවිතයට වසර 48 ක්. ඒ නිසා ම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමඟ කටයුතු කර ලබාගත් අත්දැකීම් බොහෝමයි.
“මගේ ජීවිතේ දී ගුවන් විදුලිය මගේ මුල් ම මහගෙදරයි. එතැනදී මට ලැබුණු අත්දැකීම් ගුරුහරුකම් අපමණයි. රූපවාහිනියෙන් ඉදිරිපත්කළ ‘පිස්සු පූසා’, ‘දොස්තර හොඳ හිත’ වගේ චරිත අදටත් පුංචි ළමයි රසවිඳිනවා සමහර තැන්වලදී. ඒ චරිත කළේ මම කියල දැන ගත්තම බේරෙන්න බෑ කොටසක් කියලා පෙන්වන්න කියලා මම ඒ වෙලාවට ඒ අය සතුටු කරන්න වචනයක් දෙකක් කියනවා. එහෙම වෙලාවට පුංචි අයගේ මූණේ තියෙන සතුට දැක්කම මටත් හරිම සතුටුයි. හඬ නළුවකු විදිහට මම ජීවිතේ ලබන ලොකුම සම්මානය ඒකයි.”

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි