Sunday, March 17, 2013

වන්නියලැ ඇත්තන්ගේ කතා දමන යමකෙ


මාමකැච්චක් හොඳමයි. තැනකින් ඔය ඇත්තන්ගෙ කන් රුකුලට මන්දොකරගෙන ඉඳ තිබෙන්නේ වන්නියලැ ඇත්තන්ගේ කතා දමන යමකෙ අනුවමයි හතරමෙන්. තැනකින් ඔය ඇත්තන්ට කවිතැනවල් කනා පොජ්ජවල් ඇහුම් පොජ්ජ මන්දො කරන්න හිත්ලාගෙන ඉඳ තිබෙන්න.
පටවැල් පොජ්ජෙන් මේබෙට කනා දමන්න. ශ්‍රී ලංකා ප‍්‍රථම වැදි ගුවන් විදුලිය සිකුරාදා ප.ව. 1.30ට තම විකාශනය ආරම්භ කරන්නේ එලෙසිනි. සතියකට එක් දිනයක් පැය 5 1/2ක විකාශනය වන මෙම ගුවන් විදුලි නාලිකාව නම් ලබා ඇත්තේ රේඩියෝ දඹාන ලෙසිනි. දඹාන හා හෙනාගෙල රැහේ ඇත්තෝ කල්වේලා ඇතිවම ගුවන් විදුලි යන්ත‍්‍ර වටා රොක්ව සිටිති.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් ගිරාඳුරුකෝට්ට ප‍්‍රජා ගුවන් විදුලි සේවය මගින් මෙම නාලිකාව පවත්වාගෙන යයි.
ප‍්‍රවීන සන්නිවේදකයකු වන කේ.ඒ. ජයවික‍්‍රම, ගිරාඳුරුකෝට්ට ප‍්‍රජා ගුවන්විදුලි මැදිරියේ සිට නිවේදන කටයුතු මෙහෙයවද්දී දඹානේ වැදි නායක ඌරුවරිගේ වන්නියල ඇත්තන්ගේ පැල්කොටේ සිට ගුවන්විදුලියේ තවත් ප‍්‍රවීණ නිවේදකයකු වන චන්ද්‍රරත්න පේරුම්බඩගේ සම්බන්ධීකරණ කටයුතු කරයි. ඔවුන් දෙදෙනාම වැදි භාෂාව කතාකරන්නේ නියම වැද්දන් මෙනි.
ඊට අමතරව දඹානේදී තම හඬ මුසුකරන්න. විමලරතන කැකුලා සහ ඌරුවරිගේ පත්මා කැකුලී සහන නිවේදක නිවේදිකා වෝය. මුලදී මෙම ගුවන්විදුලියට ආදිවාසී නායකයා අකමැතිවිය. එහෙත් ජයවික‍්‍රම මහතාගේ දැඩි පරිශ‍්‍රමයෙන් ඔහු කැමති කරවාගත හැකිවිය. ඒ කොන්දේසි ගණනාවක් යටතේය. ප‍්‍රධාන කොන්දේසිය වූයේ රැහේ අනන්‍යතාවට හානිකර කිසිවක් මෙහි විකාශනය නොකළ යුතු බවය.
තවත් කොන්දේසියක් වූයේ වැදි ජනයාගේ ගැටලූ ප‍්‍රශ්න සජීවී ලෙස මේ නාලිකාව ඔස්සේ තමාට අසන්නට අවශ්‍ය බවය. ඊට අමතරව මේ නාලිකාව මගින් වැදි බස් වහර පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාදිය යුතු බවය.
ඒ කොන්දේසි සියල්ලටම අනුගතව අද මෙහි සියලූ වැඩසටහන් විකාශනය වෙයි.
ප‍්‍රධාන සම්පත් දායකයා වැදිනායකයාය. හෙනානිගල වැදිනායකයා ද සජීවී ලෙස සම්බන්ධ වන නමුදු මෙම විකාශනය රතුගල හා පොල්බැද්දට ගෙනයාමට තරම් සන්නිවේදන තාක්ෂණය ප‍්‍රබල නොවූ බැවින් එම නායකයින්ගේ අදහස් විකාශනය වන්නේ පටිගත කිරීම් ඇසුරිනි.
වැදි බස් වහර පිළිබඳව දැනුවත් කිරීම්, වැදි ගී රචනය, හා සංවාද මෙහෙය වන්නේ වැදි ජනයා අතරින් මෙතෙක් විශ්වවිද්‍යාල උපාධියක් ලැබූ එකම පුද්ගලයා වන පාඨශාලාචාර්ය දඹානේ ගුණවර්ධනය.
මේ ගුවන්විදුලිය අත් දකින්නට දඹානට ගියෙමු. නායකතුමාගේ පැල්කොටයේ සන්නිවේදකයෝ සූදානම්ව සිටියහ.
කුඩා ගුවන් විදුලි යන්ත‍්‍රයක් කටුමැටි කොට බිත්තිය උඩ තිබිණ. වෙනත් ගුවන් විදුලි නාලිකාවලමෙන් සජීවී සන්නිවේදන උපකරණ කිසිවක් මෙහි දක්නට නොවීම ප‍්‍රහෙලිකාවක් විය. හරියටම ප.ව. 1.30ට 95.4 මීටරය ඔස්සේ ගුවන් විදුලිය ක‍්‍රියාත්මක විය.
අපූරු සංගීත රාවයක් ඇසෙන්නට විය. එය තේමා සංගීතයකි. එහි රිද්මය වනපෙත කඳුහෙල්, ගල්තලා හා දිය කඳුරු හුස්ම ගන්නා බව හදවතට දනවන සුළුය.
හිතවත් නිවේදකයා ජයවික‍්‍රම ගිරාඳුරුකෝට්ට ප‍්‍රධාන මැදිරියේ සිට මාම කැච්චක් හොඳමයි කියමින් නිවේදන කටයුතු ආරම්භ කරන්නේ ඉන් පසුය.
නාලිකාවේ වැඩසටහන් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමකින් පසු වැදි හා කැකුලියන් ගායනා කළ අපූරු වැදි ගීතයක් ගුවනට මුසුවිය. එහි අරුත වූයේ කැලේ කොලේ තනියම යන්න එපා යනුවෙන් ලා කැකුලියන්ට කරන අවවාදයකි.
නායක වන්නියලැ ඇත්තෝ කටුමැටි ගසා සාදන ලද සිය සුපුරුදු අසුනේ සිට සාවදානව අසාගෙන සිටියදී ජයවික‍්‍රමගේ හඬ යළි අවදිවිය. වැදි භාෂාවෙන් ඔහු කිවේ දැන් වැදිනායක තුමාගේ දවසේ අවවාදය සඳහා සම්බන්ධතාවය යොමු කරන බවයි.
නායකතුමා ළඟ හිටගෙන සිටි සන්නිවේදකයින් අතුරින් චන්ද්‍රරත්න තම සාක්කුවේ තිබූ කබල් ජංගම දුරකථනය නායකතුමාට ලංකළේය. නායකතුමා සිය අදහස් ගුවන්විදුලියට මුසු කළේය. මේ විකාශනයේ සියලූ සජීවී කටයුතු සිදුවන්නේ ජංගම දුරකථන මගින් බව දැනගන්නට ලැබුණි.
වන්නියලැ ඇත්තෝ අදහස් දැක්වීමෙන් පසු දවසේ තේරවිලි කවිය ඉදිරිපත් කිරීමට විමලරත්න කැකුලා අමතක කළේ නැත.
තේරවිල්ල නිවැරදිව තෝරා සජීවී ලෙස ඉදිරිපත් කරන ලෙස ආරාධනයක් ද කෙරිණ. තේරවිල්ල නිවැරදිව තෝරන අයට ගලේ ඇඹරූ කුරහන් පිටි  පාර්සලයක් පිරිනමන බවද නිවේදනය විය.ඉන්පසු යළි වැදි ගීයක් ගුවනේ මුසුවිය. රැහේ දුක්ගැනවිලි සජීවී ලෙස ඉදිරිපත් වෙද්දී නායක වන්නියලැ ඇත්තෝ ඒවාට සවන්දී සිට අදහස් ඉදිරිපත් කිරීම වරින්වර සිදුවිය.
රැහේ සංස්කෘතිය අනන්‍යතාව ආරක්ෂාකර ගැනීම වත්මන් සමාජ පරිසරය තුළ ඉතා අභියෝගාත්මක දෙයක් වුවද අභිමානවත් වැදි ජනයා ලෙස එය කළ යුතු බව වන්නියලැ ඇත්තෝ නිතරම මතක්කර දුන්හ.
ගුවන් විදුලි යන්ත‍්‍රය ලොවට හඳුන්වාදීමේ ගෞරව දිනාගෙන ඇත්තේ ඉතාලියේ ගුග්ලි එල්මෝ මාකෝනිය. මාකෝනි මුලින්ම ගුවන් විදුලි ශබ්ද තරංග මගින් සංඥා නිකුත්කළ ට‍්‍රාන්සිස්ටර් යන්ත‍්‍රයද නිර්මාණය කළේය. ඔහු තම මුල්ම පණිවුඩය යැව්වේ 1895දී සිය සොයුරාටය. අඩි 300ක් පමණ ඈත සිටි සොයුරා පණිවුඩය ඇසුන බව මාකෝනිට දැන්වූයේ සුදු කොඩියක් වැනීමෙනි.
අපේ රටේ ගුවන්විදුලිය 1924දී ආරම්භ විය. එම ගුවන් විදුලිය සංස්ථාවක් වූයේ 1967 ජනවාරි 5 වැනිදාය. ගුවන් විදුලි සංස්ථාව යටතේ ප‍්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන පිහිටුවීම 1980දී ආරම්භ විය. රුහුණු සේවය (මාතර) කඳුරට සේවය (මහනුවර) රජරට සේවය (අනුරාධපුරය) ආරම්භවීමත් සමග ප‍්‍රාදේශීය වශයෙන් කලාකරුවන්ගේ හා සන්නිවේදකයන්ගේ මහත් පිබිදීමක් ඇතිවිය. ඉන්පසු ගිරාදුරුකෝට්ට ප‍්‍රජා ගුවන්විදුලිය ආරම්භවිය.
අද වන විට රාජ්‍ය අංශයට අමතරව පෞද්ගලික ගුවන්විදුලි නාලිකා රැසක් ක‍්‍රියාත්මක වේ. මේවායේ ශ‍්‍රවන තත්ත්වය අති ප‍්‍රබලය. එහෙත් බැද්දේ සිට හරවත්ව විකාශනය වන  ”රේඩියෝ දඹාන” ශ‍්‍රවන තත්ත්වය ඉතා දුප්පත්ය. මෙහි ශ‍්‍රවන තත්ත්වය නංවා නවීන පහසුකම් ලබාදීම කෙරෙහි වගකිවයුතු අය නොපමාව අවධානය යොමු කළ යුතුය. එවිට බාහිර සමාජයට වැදිජනයාගෙන් ලද හැකි ආදර්ශ උසස් ගතිගුණාංග හා පාඩම් වැදි ගුවන් විදුලියෙන් ලැබිය හැකිය. එම නාලිකාව එතරම්ම හරබරය.


බදුල්ලේ පාලිත ආරියවංශ



රැහේ ඇත්තන්ගේ ‘හඬ’ රේඩියෝ දඹාන මගින් පටිගත කරනු ලැබූ අවස්ථා කීපයක්

හිටපු වැදිනායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ගේ හඬ ඇතුළත් සංයුක්ත තැටිය රේඩියෝ දඹාන සංරක්ෂණ පුස්තකාලයට නායක වන්නියලැ ඇත්තන් විසින් භාරදුන් අවස්ථාව

රේඩියෝ දඹාන බැද්දේ ගද්දේ වැඩසටහනට වැදිනායකතුමා ගිරාඳුරුකෝට්ට විකාශන මැදිරියේදී සහභාගිවූ අයුරු

ගුවන් විදුලියට සවන් දෙන කැකුලෙක්

වැදිනායකයාගේ දඹාන පැල්කොටයේ සිට ජංගම දුරකථනය මගින් සජීවී විකාශයට සම්බන්ධ වන අයුරු



0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි