Sunday, March 10, 2013

දෙවසර සපුරන දැයේ නුවණැස විදුල


දෙවසර සපුරන දැයේ නුවණැස විදුල

දැයේ නුවණැස විදුල ළමා ගුවන්විදුලිය ආරම්භ වී 2008 මාර්තු මස 28 වැනිදාට වසර දෙකකි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව නිර්මාණය වූ විදුල ළමා ගුවන්විදුලිය ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ බිහිවිය.
විදුල කාර්ය මණ්ඩලය
විදුල ළමා ගුවන්විදුලිය ආරම්භ වූ සමයේ ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිත්වය දැරූ ප‍්‍රවීණ මාධ්‍යවේදී සුනිල් සරත් පෙරේරා මහතා කීවේ “විදුල” ළමයින් සඳහා වඩාත් අර්ථාන්විත ලෙස ගුවන් තරංග හා ගුවන් කාලය යොදා ගැනීමට ගත් වෙසෙසි උත්සාහයක් බවයි.
ආසියාවේ මුල්ම ළමා ගුවන්විදුලිය වූ විදුල ළමා ගුවන්විදුලියේ මුල් අධ්‍යක්ෂවරයා වූයේ ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවයේ දිගුකාලීනව සේවය කොට අත්දැකීම් රැසක් ලබා සිටි නිමල් සෝවිස් මහතායි.
ළමා මනස පෝෂණය කරන්නට අවශ්‍ය අධ්‍යාපනික, සෞඛ්‍ය, ආගමික, සාහිත්‍ය, විද්‍යා සහ අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්හි දැනුම දරුවාට ලබා දීම විදුල ළමා ගුවන් විදුලියේ මූලික අරමුණ විය.
එනිසාම විවිධ වූ වැඩසටහන් දරුවන් සඳහා පෙළ ගස්වන ලදී. අධ්‍යාපනික දැනුම ඔප් නංවාලන අතර දරුවාගේ සෞන්දර්යාත්මක හැකියාවන් දියුණු කරන්නටද මෙම වැඩසටහන් උපකාරී විය.
පටිගත කළ වැඩසටහන්වලට සවන් දෙන අතරම සජීවී වැඩසටහන්වලට සහභාගී වීමේ අවස්ථාවන් ද අත්විඳින්නට දරුවාට හැකිවිය. දිවයිනේ විවිධ පළාත්වල දරුවන්ගේ දායකත්වය මේ සඳහා ලැබුණි.
දෙස - බස - රැස පිළිබඳව කිසිදු හැඟීමකින් තොරව “ඔයගොල්ලන්ට” “ඔයාට” කතාකරන ජ්.ර්. සංස්කෘතියක් තුළ මේ මුළු ශ‍්‍රී ලංකාවේ දරු පරපුර විදුල ළමා ගුවන් විදුලියේ “ආදරණීය දූ දරුවෝ” වූහ. ආදරණීය නංගී - මල්ලී විය. ඒ තරමටම විදුල ලාංකික දරුවන්ට සුහදශීලී විය.
සමීප විය. හෙළ බස පමණක් නොව ඉංග‍්‍රීසි - දෙමළ භාෂා පිළිබඳ දැනුමක් ද දරුවාට ලබාදීමට වැඩසටහන් සකස් කෙරිණි. එමෙන්ම දරුවන්ගේ සාරධර්ම පෝෂණය සඳහාද බොහෝ වැඩසටහන් සහ විශේෂාංග උපකාරී කර ගන්නා ලදී.
උදාහරණයක් වශයෙන් “සිත් අද්දරට දහම් දහර”, “ඇදුරු වදන් මිණ”, “මල් වැනි දරුවන්” වැනි වැඩසටහන් සහ විශේෂාංග දැක්විය හැක. එමෙන්ම දරුවා තුළ පරිසර හිතකාමීත්වය වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම ඇතැම් වැඩසටහන්වලින් ඇති කරන ලදී.
පාසල් යන වයසේ දරුවන් සඳහා පමණක් නොව මුල් ළමා වියේ පසුවන දරුවන් සඳහා ද වැඩසටහනක් වෙන් කිරීම විශේෂත්වයකි.
කුඩා දරුවන්ගේ ගායන හා කතන්දර කීමේ කුසලතා ඔප් නංවන “සිඟිති සුරතල්” වැඩසටහන ගුරු මහත්මීන් සහ මුල් ළමා වියේ පසුවන දරුවන් අතර ජනප‍්‍රිය විය.
විදුල ළමා ගුවන්විදුලියේ මේ සෑම වැඩසටහනක්ම වෙන් වන්නේ් දරුවන් සඳහාම පමණක් නොවේ. ගුරුවර වැඩිහිටියන් සඳහාද මෙම වැඩසටහන් බෙහෙවින් ප‍්‍රයෝජනවත් වෙයි. දහවල් කාලයේ දැයේ මෑණිවරුන්ට වෙන්වූ ගුවන් කාලයකි.
මෙහිලා පෙර පාසල් ගුරුවරියන් 500කට ළමා පෞරුෂ වර්ධනය සම්බන්ධයෙන් නොමිලේ පුහුණු පාඨමාලාවක් පසුගිය වසරේ පැවැත්වීම අගේ කළ හැක.
විදුල පළමු සංවත්සරය සැමරූ පසුගිය වසරේදී පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උඩවැඩියා මලක් “ඩෙන්ඩ්‍රොබියම් විදුල” නමින් නම් කරන ලදී. එමෙන්ම පින්නවල අලි අනාථාගාරයේ කුඩා ඇත් පැටවකුට විදුල නම ලැබිණි.
ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින සිසුන් 5000ක පමණ පිරිසකගෙන් විදුල ළමා සන්නිවේදක ජාතික සංචිතයට ළමයින් 100 දෙනකු තෝරා පුහුණු කිරීම පසුගිය කාලය තුළ සිදුවිය.
එමෙන්ම සියලුම පාසල් සම්බන්ධීකරණය කරමින් මානසික සුවතා වැඩසටහනක් සෑම සිකුරාදා දිනකම පෙ.ව.7.30 සිට 8.00 දක්වා ප‍්‍රචාරය කිරීමට සලස්වා ඇත.
මේ සෑම සියලු වැඩසටහනක් පිළිබඳවම සොයා බලමින් අද දවසේ වගකීම් දරන්නේ වත්මන් විදුල ළමා ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ටී.ඩී.කේ.ඒ.ජයන්ත මහතායි. දැයේ දරුවන් සඳහාම වෙන්වූ ‘විදුල’ තම දෙවන සංවත්සරය ඊයේ (29 වැනිදා) ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී සැමරීය. විදුල ඔබට දීඝායු!

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි