Sunday, March 10, 2013

ලොව පුරා දරුවන්ගේ අම්මා

Divayinaලොව පුරා දරුවන්ගේ අම්මා
Enid Blyton 1897-1968

ලොව පුරා වෙසෙන දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරමින් සතුන්ටත්, පරිසරයටත් ආදරය කරන්නට ඔවුන්ට ඉගැන්වූ ඇය දරුවන්ගේ ලේකාව "එනිඩ් බ්ලයිටන් ය." එක්‌දහස්‌ අටසිය අනූ හත වසරේ අගෝස්‌තු මස එකොළොස්‌ වැනි දින ලන්ඩනයට ආසන්න ප්‍රදේශයක දී ඇය උපත ලැබුවේ බ්ලයිටන් පවුලේ වැඩිමහල් දරුවා ලෙසටය. හැඳි, ගෑරුප්පු වැනි ආම්පන්න අලෙවි කරුවෙකු වූ ඇගේ පියා තෝමස්‌ දක්‍ෂතා රැසක්‌ සහිත වූ පුද්ගලයෙකු විය. සිතුවම් අඳින්නට, කවි ලියන්නට, පියානෝව වයන්නට මෙන්ම ඡායාරූප ශිල්පයටද ඔහු දැක්‌ වූයේ මනා ලැදියාවක්‌ හා හැකියාවකි. කුඩා කාලයේදී එනිඩ් තම පියා සමග එක්‌ව එවැනි ක්‍රියාකාරකම්වල යෙදුනේ මහත් සතුටිනි. එහෙත් ඇගේ මව තෙරේසා ඊට හාත්පසින්ම වෙනස්‌ ගුණාංගයන්ගෙන් යුක්‌ත සැර පරුෂ කාන්තාවක වූවාය. එනිඩ්ගේ ලිවීම හා පොත් කියවීමද උපහාසයෙන් හෙළා දුටු ඇය හැම විටම උත්සාහ කළේ ඇය ලවා ගෙදර දොර වැඩ කටයුතු කරවාගන්නටය. එකී හේතුව නිසා එනිඩ් හා මව අතර සැමදා පැවතියේ දුරස්‌ථ භාවයකි. බාල දෙදෙනාම සහෝදරයන් වූ බැවින් ඇයට තවදුරටත් නිවසේ වැඩ අධික විය. මේ අතර පියාගේ දෙවන විවාහය හේතුවෙන් එනිඩ්ගේ මව තම දරුවන් තිදෙනාද කැටුව බෙකන්හැම්හි පදිංචියට පැමිණීම කුඩා දැරියට මහත් පීඩාවක්‌ විය.

පසුව ධනවත් ව්‍යාපාරිකයෙකු වූ පියා එනිඩ් සහ ඇගේ සහෝදරයන්ගේ සියලු විය හියදම් දරමින් ඔවුන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කළේය. 1907 වසරේ සිට 1915 දක්‌වා බෙකන්හැම්හි පිහිටි ශාන්ත ක්‍රිස්‌ටෝපර් විද්‍යාලයෙහි උගත් ඇය එහි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවටද පත්වූවාය. ශාරීරික ක්‍රියාකාරකම් සඳහා වඩාත් කැමැත්තක්‌ දැක්‌වූ ඇය ඇකැමැති වූ විෂය ගණිතයයි. කුඩා කල ඇගේ සිහිනය වී තිබුණේ සංගීත ගුරුවරියක්‌ වීමය. ඇය දක්‍ෂ පියානෝ වාදිකාවකද වූවාය. එහෙත් ඇය රැකියාව ආරම්භ කළේ ප්‍රාථමික පංති සඳහා උගන්වන ගුරුවරිය ලෙසටය. ඒ අතර ඇය ඉඩක්‌ ලද හැම විටම දරුවන් සඳහා කවි, කතා ලිව්වාය. ඇගේ කවි පුවත්පත් සඟරාදියෙහි පළ වූ අතර තම පළමු නිර්මාණ සංග්‍රහය ලෙස නිකුත් කළේ ද කවි පොතකි.Cයසකා අකසිචැරි නම් වූ එම කවි එකතුව පළ වන විට ඇගේ වයස විසිපහකි.

පසු කලෙක පාසලෙන් අස්‌ව තමාගේම ළදරු පාසලක්‌ ආරම්භ කළ එනිඩ් දරුවන් වෙනුවෙන් ලියන්නට තම කාලයත් ශ්‍රමයක්‌ වඩ වඩාත් වැය කළාය. ඇය දරුවන් සඳහා සඟරාවක්‌ සංස්‌කරණය කළ අතර ඔවුන් වෙනුවෙන් කවි, ගී, කතන්දර මෙන්ම නාට්‍යද ලිව්වාය. 1924 වසරේදී ඇය විවාහ වූයේ ද ඇගේ පොත් ප්‍රකාශනයට පත් කළ අයෙකු වූ හෆ් පොලොක්‌ (High Pollock) නමැත්තා සමගිනි. ඇගේ විවාහ මංගලෝත්සවයට මනාලයාගේ හෝ මනාලියගේ පවුලේ කිසිවෙකුත් සහභාගි වූයේ නැත. ඒ වන විට එනිඩ්ගේ පියා මිය ගොස්‌ සිටියේය. අවමඟුල් උත්සවය පිළිබඳව දැන සිටියද ඇය ඊට සහභාගි වූයේ නැත. නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ගෙවී ගිය ප්‍රථම විවාහයෙන් ඇය දියණියන් දෙදෙනකු ලැබුවාය. බාල දියණිය වූ "ඉමොගෙන්" පසු කලෙක ඇගේ ස්‌වයං චරිතාපදානය ලියද්දී එනිඩ් පිළිබඳව සඳහන් කොට තිබුණේ ඇය අස්‌ථීර හා අහංකාර කාන්තාවක ලෙසටයි. එහෙත් එම පොතෙහිම ඇගේ වැඩුමල් දියණිය "ගිලියන්" තම මව හා ගෙවූ ළමා කාලය ප්‍රීතිමත් එකක්‌ වූ බව සඳහන් කොට තිබිණි. වසර දහ අටකින් තම පළමු විවාහයෙන් දික්‌කසාද වූ එනිඩ් 1943 වසරේදී කෙනත් ඩැරල් වෝටර්ස්‌ නම් වූ වෛද්‍යවරයෙකු සමග විවාහ වූවාය. ඒ වන විටද ළමයින් සඳහා නවකතා පොත් ගණනාවක්‌ ලියා තිබූ එනිඩ් ජනප්‍රිය ළමා කතා රචිකාවියක්‌ව සිටියාය. ඇය නිර්මාණය කළ චරිත ළමයින් අතර කෙතරම් ජනප්‍රිය වූවාදැයි යන්නට හොඳම සාධකයකි. නොඩී. ඇය දරුවන් අතරට ගෙන ආ එම චරිතය බොහෝ නිවෙස්‌වල දරුවන්ගේ සුරතල් නාමය "නොඩී" බවට පත් කරන්නට තරම් සමත් විය. ලොව පුරා ළමුන් අතර අතිශයින් ජනප්‍රිය වූ ඇගේ Sccret Seven කතා මාලාවෙහි පමණක්‌ අඩංගු නවකතා පොත් සංඛ්‍යාව විසි එකක්‌ විය.

'Sccret Seven' කථා මාලාවෙහි නවකතා ගහන පහළොවකි. මේ ආකාරයෙන් වසර හතළිහක කාලයක්‌ තුළ ඇය ලියූ පොත් සංඛ්‍යාව 800 ක්‌ බව කියෑවේ. අදත් ලොව පුරා අලුතින් මුද්‍රණය වන ඇගේ පොත් භාෂා අනූවකට පමණ පරිවර්තනය වී ඇත.

දරුවන්ගේ ලෝකයේ ජීවත්වෙමින්, දරුවෙකු ලෙස ජීවිතය දකිමින්, දරුවන් වෙනුවෙන් පොත් ලියූ එනිඩ් හට ද සතුරන් නොසිටියා නොවේ. එක්‌දහස්‌ නවසිය තිහ දශකයේ මුල් භාගයේදී එංගලන්තය, ඇමරිකාව, නවසීලත්තය වැනි යුරෝපා රටවල පුස්‌තකාලවල ඇගේ පොත් තහනම් කෙරිණි. ඒ ඇය ජාතිවාදය වර්ගවාදය පිළිබඳව අදහස්‌ දැරුවන් අතර පතුරුවා හරින බවට චෝදනා කරමිනි. බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවය වරෙක ඇගේ නිර්මාණ සඳහා තහංචි පැනවූයේ ඇගේ පොත්වල එතරම් සාහිත්‍යමය වටිනාකමක්‌ නැතැයි පවසමිනි. කෙසේ වෙතත් එනිඩ් පරාජය කළ නොහැකි ගැහැනියක්‌ වූවාය. ලොව පුරා දරුවන් ඇගේ කතා පොත් කියවා මහත් වින්දනයක්‌ ද දැනුම් සම්භාරයක්‌ද ලදහ. ඇය ගොවිපළක්‌ ගැන දරුවන්ට ලිව්වේ ගොවිපළක ජීවත් වී සැබෑ අත්දැකීම් විඳ ගැනීමෙන් අනතුරුවය. දරුවන් අතර මිත්‍රත්වය, දරුවන්ගේ අවංකභාවය පිළිබඳව ඇය බොහෝ කතා ලිව්වේ දරුවන් හොඳින් අධ්‍යයනය කරමිනි. කෙසේ වෙතත් මේ වන විට අලෙවි වී ඇති එනිඩ් බ්ලයිටන් පොත් ප්‍රමාණය මිලියන හැට ද ඉක්‌මවා ඇත.

සාර්ථක හා ප්‍රීතිමත් වූ ඇගේ දෙවන විවාහය අවසන් වූයේ 1967 වර්ෂයේදී ඇගේ සැමියා කෙනත් මිය යැමත් සමගය. ඒ වන විටද අල්සයිමර් රෝගියෙකුව සිටි ඇයගේ තත්ත්වය එතැන් සිට වඩාත් අයහපත් විය. 1968 නොවැම්බර් 28 වැනිදා එනිඩ් බ්ලයිටන් ලෝකයේම දරුවන් අතැර ගොස්‌ තිබුණේ නිදා සිටියදීමය. මේ වන විට ඇය මෙලොව හැර ගොස්‌ වසර හතළිස්‌ හතරක්‌ ගෙවී ඇත ද අදත් ලෝකයේ ළමුන් අතර ජනප්‍රියතම ලේකාව එනිඩ් බ්ලයිටන් වේ. සිනාසෙමින් හඬමින් ලොව පුරා දරුවන් ඇගේ පොත් රස විඳිද්දී, ඇගේ පොත් කියවන වැඩිහිටියෙකුට පහසුවෙන්ම ආපසු ළමා ලෝකයට පිවිස එහි සුව විඳගත හැකිය.


සුනිලා විඡේසිංහ
අන්තර්ජාලය ඇසුරෙනි





0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි