මේ කාර්යභාරය මැනවින් ඉටු කළෝ මුනිදාස කුමාරතුංග, ආනන්ද රාජකරුණා හා ටිබෙට් ජාතික ඇස්.මහින්ද හිමියෝම වෙති. කවර තරාතිරමේ උගත්කම්, කුසලතා තිබුණත් කිසිවෙකුට කිසි දිනෙක මේ නිර්මාණකරුවන් තිදෙනා අබිබවා ළමා නිර්මාණ බිහි කළ නොහැකි බව පැහැදිලි ව පෙනේ. නන්දා මාලිනීගේ ‘හඳහාමි” ළමා ගීත සංග්‍රහයට තෝරාගෙන තිබුණේ මොනවාද? එය පරයා නැඟී සිටි ළමා ගීත අද වනතුරු බිහිවූයේ ද?
මහින්ද හිමියන්ගේ “දරු නැළවිල්ල” හෙවත් ජාතික තොටිල්ල” දීර්ඝ කාව්‍යාවලියකින් උපුටා ගන්නා ලද පද්‍ය දහයකින් සමන්විත ය. දරුවා තුළ ජාතිකාභිමානය, දේශානුරාගය ජනනය කිරීමත්, අතීත සුරුවිරුවන් හා රජදරුවන් කව්රුන් ද යන්න හඳුන්වාදීමත්, දරුවා රටට ජාතියට ණය නැතිව මිය යන්නකු බවට පත්කිරීමත්, මේ රචනයෙහි මුඛ්‍යාධ්‍යාශය ලෙස හඳුන්වා දිය හැකිය. මෙවන් හැඟීම් ජනනය කළ අන් රචකයන් වේ නම්, කුමාරතුංග හා අල්විස් පෙරේරා පමණකැයි කීමේ වරදක් නොපෙනේ. මෙහි අන්තර්ගතය පිළිබඳ ව සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ කුඩා දරුවාට මෙන් ම වැඩිහිටියාටත් මෙය එක සේ ගෝචර වන බවයි. එවන් නිර්මාණ ද සිංහල පද්‍ය සාහිත්‍යයෙහි අතිශයින් දුර්ලභ ය.
මාත්‍රා දොළසේ සුගායනීය වූ වසන්ත විරිතෙන් මෙය සූචිත ය. අධිජනප්‍රිය දරු නැළවිල්ලක් මෙහිදී සිහිපත් කෙරේ. “ආදරයේ උල්පත වූ අම්මා” නම් උත්තම මව් ගුණ ගීතය නිර්මාණය කිරීමේ දී ද තමන් උපයුක්ත කර ගත්තේ උක්ත නැළවිලි ගීතය ම බව වික්ටර් රත්නායකයෝ බොහෝ අවස්ථාවල දී සඳහන් කර ඇත්තාහ. මාත්‍රා හයෙන් හයට පිහිටන යතිය ප්‍රකාශනයෙහි රමණීයත්වය තියුණු කිරීමට හේතු වන බව ද කිව යුතුය.
මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟි මේ එන්නේ
මගේ පුතා නිදියෙන් නේ”
යනුවෙන් ඇරඹෙන පැදි පෙළ
”ලක්වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමී
පෙව්වෙ උතුම් සදහම් මී
පුත! නුඹටත් පොවමි එ මී”
යන පද්‍යයෙන් නිමාවෙයි. දරුවා තුළ බුදු දහම පිළිබඳ ව උපදවන අපමණ භක්තියත්, රට ජාතිය ගැන හැඟීමත් වත්සල රසය ඉතා ප්‍රබල ව ජනනය කරයි. මෙය ළමා ආධ්‍යාත්මය සැකසීම උදෙසා කලාත්මක අයුරින් ගත් උත්තම ප්‍රයත්නයක් ම වෙයි. කවියා ගේ අරමුණ මැනවින් ඉටු වී තිබේ.
”නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ”
නිදහස කවරක් ද? එහි උල්පත කවරෙක් ද? නිදහස දිනාගැනීමේ යුතුකම කා සතු ද? මහින්ද හිමියෝ දරුවාට ඉහළ ම වටිනාකමක් පිරිනමා තිබේ. අද්‍යතනයේ ප්‍රචලිත ළමා මනෝවිද්‍යාව මහින්ද හිමියෝ දැන සිටියාහ. මෙය රටට දැයට අවශ්‍ය උත්තම පුරුෂයෙකු නිර්මාණයට දැරූ අමරණීය ප්‍රයත්නයකි.
”සිංහල රන් කිරි කට ගා
මගෙ පුතු හෙට ලොකු වෙනවා
රට රකින්න රන් අසිපත
පුතුගෙ අතට මම දෙනවා”
පසු කලෙක මහගමසේකරයෝ ද පැවසූහ.
අද්‍යතනයේ අපේ ඉතිහාසයත් සමඟ බුදුදහම මතු කිරීමට සිනමාකරුවෝ ප්‍රයත්න දරමින් සිටිති. ‘අබා’ චිත්‍රපටය එහි පුරෝගාමී අවස්ථාවයි. ඒ මඟ අනුගමනයෙන් බිහි වූ හා බිහිවන සිනමා නිර්මාණ ගැන ද කියවෙයි. මහින්ද හිමියෝ මේ පැදි පෙළේ දී විජය කුමරු තාපස වේශයෙන් මාකඳුරට (තිරිකුණාමලයට) ගොඩ බට පඬුවස්දෙව් රජු, පණ්ඩුකාභය (දොරමඩලේ කුමරිඳු), මහමෙව්නාව ගොඩනැඟූ මුටසිව රජු පිළිබඳ ව පමණක් නොව අනුපුරය ගොඩනැඟූ අනුරාධ ඇමතිගේ චරිතය ද සිහිපත් කරයි. මේ සියල්ල දරුවා තුළ ජාතිකාභිමානය, දේශානුරාගය ජනනය උදෙසා ම කරන ලද වර්ණනා ය. මේවා කුඩා දරුවාගේ මනසට ගෝචරදැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ තිබේ. එහෙත් අද්‍යතනයේ ඉතිහාසය වරද්දා නිර්මාණකරණයෙහි යෙදෙන නිර්මාණකරුවන් ගැන වැඩිහිටි පාඨකයන්ට සිතීමේ මඟපාදයි.
”ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළවෙන බව සිතනු පුතේ”
මෙහිදී අනෙක් පද්‍යවලට වඩා වෙනස් හැඟීමක් ජනනය වීම නොවැළැක්විය හැක්කකි. රට වෙනුවෙන් යුද බිමේ දිවි පිදීම දෙව් සැප වැලඳීමට හේතුවකි. මේ පැදි පෙළ අද දවසට නොගැළපේද? රට වෙනුවෙන් අප වෙනුවෙන් කොතෙක් විරුදරුවන් මෑතකදී අවසන් වූ ත්‍රස්තවාදී උවදුරේ දී දිවි පිදූවේද? වැදූ මවත්, උපන් බිමත් දිවි පුදා රැක ගත යුතුය. මහින්ද හිමියන් වැඩිහිටි නිර්මාණවල දී ප්‍රචාරක ස්වරූපයට පත්ව කවිකම යටපත් කරගත් බව බොහෝ විචාරකයන්ගේ මතයයි. නමුත් මෙහිදී එකී චෝදනාව කිසිසේත් එල්ල කළ හැකි නොවේ.
”නිදහස මහ මුහුදක් වේ”
”තවුසකු සේ ඇඳ පැලඳා”
”දෙව් පුර මෙන් දෙවියන් නේ”
”එහි සක් දෙවි රජු මෙන් නේ”
”ලස්සන මෙන් මහ පොළොවේ”
”සදහම් මී”
මේ පැදි පෙළ අඳුරෙහි දල්වන ලද පහන් වැටක් මෙන් ආලෝකවත් කළ සංකල්ප රූ මෙසේ වෙන්කොට දැක්විය හැකි ය. ගැඹුරු වූත්, පුළුල් වූත්, සම්පත්තිදායක වූත් මහා සාගරයට නිදහස රූපකාර්ථවත් කිරීම ඉතා ප්‍රබල ය. සාර්ථක ය. සැළලිහිණියේ විභීෂණ දෙවි වැනුමේ දී සයුර ඈඳාගත් අවස්ථාවට අපගේ සිත දිව යයි. දෙවන උපමා අලංකාරයෙන් රාජ්‍යත්වය හා බුදුදහම බද්ධ කිරීමට ගත් ප්‍රයත්නයක් පෙනේ. ශක්‍ර යනු බලයේ සංකේතය බව මහාචාර්ය විමල විජේසූරිය ඇදුරුතුමෝ පෙන්වා දී ඇත්තාහ. ඒ නිසා දරුවා සක් දෙවිඳුට උපමා කිරීම ඔහුගේ බලය වටිනාකම ඉහළින් අගය කිරීමකි.
ඉහත උපුටා දැක්වූ සංකල්ප රූප මේ පැදි පෙළේ දී රූපකාර්ථවත් බසක් පරිහරණය කළ බවට නිදසුන් වන අතර චිරත්තන කාව්‍ය භාවෙන් ද මහින්ද හිමියෝ නොමඳ ප්‍රභාවක් ලබා ඇත්තාහ. මුනිසිරිපා, සමනොළ ගිරි, දෙරණ මතේ යන යෙදුම් එය තහවුරු කරයි.
අමරදේවයෝ නන්දා මාලිනිය සමඟ මෙහි පැදි කිහිපයක් සංගීත සංයෝජනය කොට ගයමින් ශ්‍රාවක සවන් සනසති. ජාතිකානුරාගය, දේශාභිමානය පිළිබඳ හැඟීම් තියුණු කරති.
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි