Sunday, March 10, 2013

හැත්තෑ ගණන්වල ළමා පිටිය


අපූරු හැන්දෑවක් ගැන වින්දනාත්මක සටහනක්

පියදාස රත්නසිංහට උපහාරය පුදන්නේ ශ්‍යාමලී ලිවේරා
අසෝක තිලකරත්න සම්මාන ලබා
මහින්ද අල්ගම වෙත සම්මානය ප්‍රදානය නන්දා මාලිනී
ප්‍රභා රණතුංගටත් උපහාරයක්
සිය සැමියාගේ උපහාර තිළිණය දෝතින් ගන්නා ඉරානි අබේසේකර
සුමනා ජයතිලකට ගුරු බැති උපහාර පුදන ගීතා කාන්ති ජයකොඩි
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
පසුගිය දවසක බඹරු නටන හැන්දෑව බොහොම අපූරු හැන්දෑවක් වුණා. මේ හැන්දෑවේදී ඇසුණු හැත්තෑව දශකයේ ළමා ගී වගේම පැරැණි ගීත අපගේ සිත නිමේෂයකට රැගෙන ගියේ ඒ අපූරු අතීතයටයි.
ඒ අතීතයට අපව කැන්ඳා ගෙන යන්න රෝහණ, පරාක්‍රම, දමයන්ති ජයසූරිය, ගීතා කාන්ති, ශ්‍යාමලී, ලංකා රාණි, මංජුලා, සකුන්තලා, දමයන්ති, මංජුලා මල්කාන්ති, ඉන්දීවරී, නෙලුම්, තනුජා, ප්‍රසාදි, විජයන්ති, ගයනා, සන්ධ්‍යා, කියන ශිල්පීන්ගේ වගේම ශිල්පිනියන්ගේ මියුරු ස්වරයට හැකි වුණ බව නම් කියන්නම ඕන.
ඒ ගායනාවන්ගේ මියුරු බව තවත් දියුණු කරනා කළණි, මර්වින් හා හේමපාල කියන ශිල්පීන්ගේ සත්සර මුසුව නිසා ඒ සන්ධ්‍යාව තවත් හැඩවුණා.
ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනීව හද බැතින් පිළිගන්නා නිරංජලා සරෝජනී.
මේ විදියට ගී ගැයෙන සුන්දර රාත්‍රියේ තවත් අපූරු කටයුත්තක් සිදු වුණේ අපි සැවොම පුදුමයට පත් කරමින්. ඒ හැත්තෑවේ දශකයේ ළමා පිටිය ඔස්සේ හරවත්, දැනුවත් ළමා පරපුරක් බිහි කරන්නට තමන්ගේ විශිෂ්ට දායකත්වය දුන්නු රටක් දන්න ප්‍රවීණ ශිල්පීන්ට කෙරුණු උපහාරයයි.
මහින්ද අල්ගම, ප්‍රභා රණතුංග, සුමනා ජයතිලක, අසෝක තිලකරත්න, පියදාස රත්නසිංහ, සුනන්දා ධර්මපාල යන මහත්ම මහත්මීන් වගේම අභාවප්‍රාප්ත කරුණාරත්න අබේසේකර සහ සුනෙත් ගෝකුළ යන ශිල්පීන්ටත් එදින උපහාරය හිමි වුණා.
කපිල කුමාර කාලිංග, ඒ. ඩී. රංජිත් කුමාර වගේ එවක ළමා පිටියෙන් තම ජීවිතයට ආලෝකයක් ලබාගත් ඒ ළමුන් වියතුන් වී කළ දේශනාවන් අහන් ඉන්නට තරම් සුන්දරයි.
අසෝක සේරසිංහ, ගීතා කාන්ති, ගාමිණී අභයතිස්ස, ශ්‍යාමලී ලිවේරා, සුනන්දා සරත්සේකර, රෝහණ සිරිවර්ධන වගේම දමයන්ති ජයසූරිය හේතු පාඨ කියමින් උපහාර තිළිණයන් ප්‍රදානය කළේ සිතෙහි නැ¼ගුණු බැතිබර භාවය හදවතට නඟමින්.
‘අද කාලයේ මේ වගේ වැඩක් අගය කරන්නම ඕන’
මෙහෙම කිව්වේ බඹරු නටන හැන්දෑවට එකතු වුණු ප්‍රධාන ආරාධිත අමුත්තිය වුණු ප්‍රවීණ ගායන ශිල්පිනිය නන්දා මාලිනී.
හෝරා කිහිපයක් ගතවුණු බව නොදැනුණු තරම්. එතැනට පැමිණි ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් වගේම බොහොම දෙනෙක් හිටියේ තවත් හෝරා කිහිපයක් ගත කරන්න වුණත් සූදානමින්.
මේ අපූරු කටයුත්ත සංවිධානය කර තිබුණේ ‘හැත්තෑ ගණන්වල ළමා පිටිය’ සංවිධානයෙන් වීම තවත් විශේෂත්වයක්.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි