දුවගේ සිනාව
විමලරත්න කුමාරගම
අඩ හඳ පළුව මගෙ පොඩි දියණිගෙ කටය
ඇගෙ වත තමා පසු තල සුදුවෙල කැටය
ලොකු පොඩි තාරුකා ඇගෙ කෙළි බඩු වටය
ඈ හිනැහුණේ වෙන කෙනකුට නොව මටය
තව බඹ දෙකයි නිදියන මොහොතටද දුවේ
ඔබෙ මව සිටී යම් තැන පස් අතර ලොවේ
ඈ නිදි නිසා ම හදෙහි දැන් රැය ද දෙවේ
නිදියන් ඔබත් එහි කෙළි බඩු සමඟ දුවේ
මඳ නළ නමුත් මෙහි වෙන කිසිවකු නැතද
මගෙ කෙහෙ අදින්නේ ඔබෙ කිරිකැටි අතද
ඔබ හට කැමති නම් දෙමි මගෙ හද වතද
ඇස පියවෙන්නෙ ඇයි ඔතරම් නිදි මතද
ඇවිටිලි කළත් නැත නැළවිලි නවති න්නේ
මට සුව සැලසු ඔබ ඇයි එය වළක න්නේ
ඇයි ඇයි දුවේ ඔය හෙමිහිට සැඟ වෙන්නේ
ඔබ ළඟ නැතුව මා කොහොමද නිදිය න්නේ
නල වැල සසල ගති අද මට සතුරු වුණේ
හුරු තනිකම ද ගෙන එයි දැන් වියරු වුණේ
දැන් නොපෙනුණත් මගෙ දුවගේ උවන අනේ
අඩ සඳ පළුව ඇති විට ඇගෙ රුව ද පෙනේ
හැම සම්පත ම සලසමි මා අයින් නොවේ
ඔබ වත සිඹින්නට නැති මා දුකින් තැවේ
මගෙ හද තොටිල්ලට ලැබුමට හොඳින් සුවේ
තරු කොල්ලනුත් අඬගහගෙන වරෙන් දුවේ
කොළඹ යුගයේ දෙවැනි කවි පරපුර නියෝජනය කළ විමලරත්න කුමාරගම
කවියා (1919 ජනවාරි - 1962 දෙසැම්බර්) නිසැක වශයෙන්ම කොළඹ
යුගයේ අන් සියලු කවීන්ගෙන් වෙන්කොට ගත හැකි විශිෂ්ටතම
කවියා බව විචාරක මතයයි. ජන හදට සමීප ජීවිතානුභූතීන්
හෘදයාංගමව හා අව්‍යාජ ලෙස පද්‍ය කාව්‍ය ලෙස නිර්මාණය
කිරීමට ඔහු තුළ වූ ප්‍රතිභාවට නිදසුන් සේ දැක්‌විය හැකි
රචනා බොහෝය. වලස් දඩයම, හේරත්හාමි, අය්යනායක වැනි නිර්මාණ
ඒ අතර ප්‍රමුඛ වුවත් ඔහු විසින් රචිත පද්‍ය කාව්‍ය
රාශියක් ද කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ද කුමාරගම කවියාගේ
නාමය ඉදිරියේ සටහන් වී ඇති බව ඔහුගේ කාව්‍යාවලි විමසන
කල්හි පෙනේ. දුවගේ සිනාව නම් ඉහත නිර්මාණය මෙවර කවි මිහිර
සඳහා මවිසින් උපුටා ගන්නා ලද්දේ පී. එම්. සේනාරත්න විසින්
සංගෘහිත විමලරත්න කුමාරගම කාව්‍යාවලී නම් කෘතියෙනි. ඔහු
විසින් තම දියණිය පිළිබඳව මෙන්ම ඔහුගේ මිතුරන්ගේ දියණියක
පිළිබඳව ද රචනා කරන ලද කාව්‍ය නිර්මාණ හමු වේ. ඔහුගේ
මිතුරකුගේ දියණියක් වූ මායා පිළිබඳ කුමාරගම කවියා විසින්
රචිත අපූරු නිර්මාණයක් ලිපිය නමින් හමු වේ. ඔහු ඈ බලන්නට
නිවසට යන කල ඈ මියගොසිනි. එහෙත් ඈ විසින් ලියා තිබුණා යෑයි
කවියා දකින ළමා කවියෙන් ඈ අමතා තිබුණේ ඇගේ පියාටයි. කවියා
ඉතා අපූරුවට ළමා මනස චිත්‍රණය කොට ඇති විලාසය බලන්න.
"තාත්තට මං
විහිළු කෙරුවා
තාත්තේ මට හරි දුකයි
තාත්තේ මං
මීට පස්‌සේ
දඟ කරන්නේ නෑ අනේ..."
එහෙත් කුමාරගම කවියා තම දියණිය පිළිබඳ නිර්මාණය කළ
රචනාවේදී ඔහුට සුපුරුදු සිව්පද ආකෘතියම තෝරාගෙන මියගොස්
ඇති ඔහුගේම දියණිය පිළිබඳ මතකයට පිවිසෙයි.
කවියා තම දියණියගේ හැඩරුව පාඨකයා ඉදිරියේ මවන්නට සොබාදහමේ
වස්‌තූන් උපමා ලෙස යොදාගනී. පොඩි දියණියගේ මුව අඩ හඳ
පළුවක් සේය. ලොකු පොඩි තාරුකා ඇගේ සෙල්ලම් බඩු වැන්න. ඈ
ඔහු දෙස බලමින් සිනාසෙන්නීය. එහෙත් තවත් කෙටි මොහොතකින් ඈ
මව සිටිනා තැනට යන බව කවියා පවසයි. මව මියගොසිනි. දියණියගේ
කෙළිබඩු ද රැගෙන මව සිටිනා ලොවට ගොස් නිදියන්නැයි ඔහු
දියණියට පවසයි. කවියාට දියණියගේ මතකයෙන් ඈත්වන්නට නොහැකිය.
හමා යන මඳ නල හැර අන් කිසිවෙකුත් නොවූවත්, ඔහුගේ හිසෙහි
කෙස් කවුරුන් හෝ අදිනා බවක් ඔහුට දැනේ. ඇගේ සියුමැලි
කිරිකැටි දෑතින් ද ඔහුගේ කෙස් අදින්නේ?
"මඳ නල නමුත් මෙහි වෙන කිසිවෙකු නැතද
මගෙ කෙහෙ අදින්නේ ඔබෙ කිරි කැටි අතද..."
බිරිඳකගේ වියෝවෙන් තැවෙන හිමියෙකුට තම දියණියගේ වියෝවක්
කෙසේ දරා ගැනීමට හැකිවේ දැයි සිතා ගැනීම අපහසුය. කවියාට
දැනෙන, ඔහු වට කොටගෙන ඔහු වෙළා ගන්නා, පාළුව, ඔහු සිත
රිදවයි. කෙමෙන් කෙමෙන් ඈ ඔහු වෙතින් සැඟවී යන මොහොතේ ඔහුගේ
පාළුව තනිකම තීව්‍ර වේ. ඈ නොමැතිවා ඔහුට නින්ද නොඒ"
"ඇයි ඇයි දුවේ ඔය හෙමිහිට සැඟවෙන්නේ
ඔබ ළඟ නැතුව මා කොහොමද නිදියන්නේ..."
ඔහු එලෙසින් ප්‍රශ්න කරන්නේ එබැවිනි. ඔහුට තම දියණියගේ
මුහුණ නොපෙනේ. එහෙත් අඩ සඳ පළුව ඔහු නෙත ගැටේ. එවිට ඔහුගේ
මතකයට ඈ පිවිසේ. මන්ද යත් ඇගේ මුව ඔහුට පෙනෙන්නේ අඩ සඳක්
විලසින් බැවිනි. ඇගේ වත සිපගන්නට නොහැකි සොවින් ඔහු තැවේ.
ඔහුගේ හදවත නමැති තොටිල්ලට ඇගේ කෙළිබඩු වූ තරු ද රැගෙන
එන්නැයි කවියා ඇයගෙන් ඉල්ලා සිටී.
දියණියකගේ වියෝව පිළිබඳ පෞද්ගලික අත්දැකීමක් තම නිර්මාණය
සඳහා වස්‌තු විෂය කරගන්නා කවියා, දියණියගේ බාහිර ස්‌වරූපය
අතීත ස්‌මරණයට නගමින් ඈ නොමැති කල දැනෙන පාළුව සියුම් ලෙස
සරල වදන් මාලාවක් ඔස්‌සේ ගොඩනගමින් පාඨක සිත්හි ශෝක
රසයක් උපදවීමට සමත් වේ. මෙවන් අත්දැකීමක් පැවසීමට වඩාත්
උචිත ආකෘතිය සිව්පද ආකෘතිය බව පාඨකයනට ඒත්තු යයි. මියගිය
දුවගේ සිනාව තුළ කවියාගේ මතකය පිබිදේ. කොළඹ යුගයේ බොහෝ
කවීන්ගේ පද්‍ය කාව්‍ය තුළ මෙවැනි අත්දැකීම් රැගත් නිර්මාණ
ඇත ද දුවගේ සිනාව නිර්මාණය ඒවාට වඩා වෙනස් මුහුණුවරක්
ගන්නේ කවියා භාවාතිශය නොවී, සංයමයෙන් යුතුව තම අත්දැකීම
ගොඩනංවා ඇති බැවිනි. දියණිය නොමැති මොහොතෙහි සිහිපත් වන
ඇගේ කිරිකැටි සිනහව ඔස්‌සේ හඬා වැළපීමට තැත් නොකරන ඔහු තම
හදවතෙහි මෝදු වූ ශෝකය විඳ දරා ගැනීමට වෙරදරයි. තම ජීවිතයට
සමීප වූ චරිතද්වයකින් වියෝවන්නට සිදුවීම සාමාන්‍ය දුකක්
විඳ දරා ගැනීමට වඩා දුෂ්කර හා අපහසු කර්තව්‍යයකි.
විශේෂයෙන්ම තම ලෙයින් ලොව ජනිත වූ දියණියකගේ වෙන්වීම,
ජීවිතයේ යථා ස්‌වභාවය, අනිත්‍ය යයි කල්පනා කොට විඳ දරා
ගැනීම කෙතරම් අසීරුදැයි කුමාරගම කවියා විසින් නිර්මිත
පියාගේ ශෝකය මගින් අපට පහදා දේ. ඔහු ඒ තනිකමකින්, තවත්
තනිකමකට එක්‌වී සිටිනවා නොවේද යන සිතිවිල්ල සමඟ පාඨක අපගේ
සිත්හි ද ඔහු පිළිබඳ ශෝකයක් උපදී. අනුකම්පාවක් මතු වේ.
ඔහුගේ සෝකය අප විසින් ද බෙදාගත යුතු යෑයි යන හැඟීම අප
සිත්හි ජනිත වේ. කවියාගේ දුවගේ සිනාව අපගේ සිත්හිද
පිළිබිඹු වෙමින් ඈ පිළිබඳ ස්‌නේහයකින් අප සිත් පුරවාලයි.
බුද්ධදාස ගලප්පත්ති
1 comments:
කුමාරගමයන්ගේ කවි නව පරම්පරාවට හඳුන්වා දීමට ගත් උත්සාහය ප්‍රශංසනීය නමුත් මෙහි කියවෙන සමහර කරුණු වල නිරවද්‍යතාවය ගැන ගැටළු මතුවේ. පළමු කරුණ නම් කුමාරගමයන් අවිවාහක අයෙකු වීමය. මේ කවියට පදනම් වූයේ පෞද්ගලික අත්දැකීමක් විය හැකි නමුදු එය කුමාරගමයන්ට සිදුවූ දෙයක් නොව මිතුරෙකු හෝ ඥාතියෙකුට සිදුවූ දෙයක් විය හැක.
අනෙක් කරුණ නම් "මායා" කවි පන්තිය ලියවෙන්නේ ඔහුගේ මිතුරෙකුගේ දියණිය ගැන නමුත් මෙහි මිය ගොස් සිටියේ මායා නොව ඇයගේ පියා වීමයි. "මා ගියේ දවසකට පස්සේ එදා හරියට වැස්ස වැස්සා - මිදුලෙදිම මායා මා බදාගෙන ලොකු තොත්තුවක් දුන්නා හිත හදාගෙන, ඊයෙ රෑම මාමා එයි කියා හිතාගෙන මම හිටියෙ පාරම බලාගෙන " පියාගේ මළගමට පැමිණි මිතුරා මායා විසින් පිළිගනු ලබන්නේ එසේය.මායා හා කුමාරගමයන් අතර තිබූ සමීප බව එයින් කියවෙයි.
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි