Sunday, March 17, 2013

ගුවන් රගමඩලේ හඩ නළුවක විසිතුර


ගුවන් රගමඩලේ හඩ නළුවක විසිතුර

ලංකා ගුවන් විදුලියේ මුල්ම කාලයේ “කොළඹින් කතා කරමි” යන වැකිය ඈත ප්‍රදේශවල මිනිසුන්ගේ පුදුමයට හේතු විය. ඒ පුදුමය අපටත් ඇතිවුණොත් එය අරුමයක් නොවේ. එදා මේ අරුමයට මුල් අඩිතාලම දැම්මේ 1922 නොවැම්බර් 24 දිනයේය.
මෙදින කොළඹ දී බිහිවූ ලංකා ආධුනික ගුවන් විදුලි සංගමයට ශ්‍රී ලංකා ගුවන් විදුලි සඟරාවක් නිකුත් කිරීමට ද, ගුවන් විදුලි ප්‍රදර්ශන පැවැත්වීමට ද, ගුවන් විදුලි සේවය ව්‍යාප්ත කිරීමට ද හැකි විය. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියේ ආරම්භය 1924 වසර දක්වා දිව යයි.
එදා සිට මේ දක්වා ගුවන් විදුලිය ආ ගමන සුළු පටු එකක් ලෙසින් කිසිසේත් ම සැලකිය නොහැකිය. “කලාව කියන්නේ මිනිසුන් ගේ සිත් නිවන සංවර තැනක්. මේ සුන්දරත්වය ගුවන් විදුලිය ළඟ හැමදාම තියෙනවා. මං ජාතික තරුණ සේවා සභාව හරහායි. ගුවන් විදුලියට සමීප වුණේ. නාට්‍ය අංශයෙන් මං ලබාගත් දැනුම හරිම පුළුල්. ඒ හින්දම ලාංකේය නවමු නාට්‍ය ආකෘතික වෙනසකට අපව යොමු කරවනවා.
නාට්‍ය ශිල්පී – රංග වීරසිංහ පවසන්නේය.
“ඇත්තෙන්ම අද පුද්ගලික මාධ්‍ය විශාල ජාලයක් අපේ රටේ තිබෙනවා. හැම දේකටම ප්‍රමිතියක් තියාගන්න ඕන. බොහෝ මාධ්‍ය භාෂාවේ රිද්මය කඩනවා. තවත් පැත්තෙන් වචන සංඛ්‍යාව, සීමිත කාල මානයක් තුළ ගිරා පෝතකයන් වගේ දොඩවන මාධ්‍ය සම්ප්‍රදායකට අනුබල දෙනවා. ටිකක් හිතන්න... භාෂාව කියන්නේ මිනිසුන් ගේ හැඟීම් දැන ගන්න පුළුවන් හොඳම තැන. භාෂාව ඉදිරිපත් කරන ශෛලීය භාෂාවේ රිද්මය... මේ හැම දේකින්ම ඉදිරිපත් කරන කෙනාගේ චින්තනය හෙළිදරව් වෙනවා....
මහජන සේවය ගැන කතා කරද්දී ලාභයම කතා කරන අවස්ථා තියෙනවා. ඒත් ගුවන් විදුලිය මේ තත්ත්වයට ආදේශ කරන්න බැහැ. බොහෝ මාධ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගත්තත් ජනතාවගේ හෘද ස්පන්දනය ඔවුන් දැන ගත්තේ නැතිනම් ඉතා ඉක්මනින් වැනසී යන එක සිදුවන්න පුළුවන් නුදුරු අනාගතයේදී.
-හිටපු ගුවන් විදුලි සංස්ථා සභාපති ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා -
“මගේ නිර්මාණ රසවිඳින රසිකයන් මට හැමදාම වටිනවා. මන්ද ලේඛකයෙකුට තරගයට දිවීමේ අවශ්‍යතාවක් නැහැ. කවදා හෝ ඔහුගේ නිර්මාණය බරට බරක් සමාජයෙන් එකතු වෙනවා. අද ගුවන් විදුලියේ දවැන්ත ප්‍රතිරූප එයට සාක්‍ෂි දරාවි.”
- ප්‍රවීණ ලේඛක
ජයතිස්ස තෙන්නකෝන්
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය නිල වශයෙන් ආරම්භ වූයේ 1924 ජූනි 27 වැනිදාය. ගුවන් විදුලියේ විසුරුවා හරින ලද ප්‍රථම කතාව සර් විලියම් හෙන්රි මැනිං ආණ්ඩුකාරවරයා විසින් ලංකා ඉංජිනේරු සංගමය අමතා කළ කතාවය. ආරම්භයේදී, පවත්නා වැඩසටහන් සතියකට දෙවරක් දිවා කාලයේ ප්‍රචාරය කිරීම, ග්‍රැමෆෝන් තැටි ආධාරයෙන් සංගීත වැඩසටහනක් විසුරුවා හැරීම සිදු කෙරිණි.
ආණ්ඩුකාරවරයෙකු වූ ශ්‍රීමත් හියු ක්ලිෆඩ් විසින් නව ගුවන් විදුලි සේවය විවෘත කළේ 1925 දෙසැම්බර් 16 වනදාය. ඒ අතීතය සිහිපත් වන හැම අවස්ථාවකදීම අපට හැඟෙන්නේ ජන හද ගැහෙනා රාවය හඳුනාගත් ගුවන් විදුලිය අපේමය කියාය.
අරාබි ජනශ්‍රැතිය මෙන් ම යුරෝපීය ආසියානු සහ ශ්‍රී ලාංකේය ජනශ්‍රැතිවල භූතයින් ගැන නොයෙක් කතා අප අසා ඇත. බී. බී. සී. ගුවන් විදුලියේ ලෝක සේවාවේ මයිකල් කේ සහ ඇන්ඩ්‍රෑ පොපර්වෙල්, ආධුනිකයන්ට ගුවන් විදුලිය හඳුන්වන්නේ මාධ්‍ය භූතයා නමිනි. අවශ්‍ය නම් ගුවන් විදුලියට කුඩා බෝතලයකට පිවිසිය හැකි තරමට කුඩා වීමට පුළුවන. තවත් වරෙක වුවමනාවක් ඇත්නම් මහාද්වීප කීපයක් ආවරණය තරම් විශාල විය හැකියි. එය ගුවන් විදුලියේ හැටිය.
“බොහෝ දෙනා කියනවා අපේ ගීත කලාව සම්භාව්‍ය මට්ටමක තිබුණේ නෑ කියලා. 50 දශකය සහ 60 – 70 දශකයේදී ඉතා මිහිරි සුභාවිත ගීත ගණනාවක් බිහිවුණා. ඒ වගේම සිංහල ගීත සාහිත්‍යයට සුබාවිත ගීත එකතු කරන්න ගුවන් විදුලිය මැදිහත් වුණා. අදටත් සුභාවිත ගීත බිහිවෙනවා.
- වීරකැටියේ සරත් කුමාර යාපා
“මං කියන්නේ නැහැ භාෂාව වැරැදි විදියට භාවිතා කරනව කියලා. නමුත් වන වැරදි අකා මකා දැමීමටත්, ගුවන් විදුලි තරංගයන් අපහරණය කිරීම වළක්වා ගැනීමටත් ජනතාව පෙරට පැමිණිය යුතුයි. විශේෂයෙන් සලකන්න ඕන මේ කාලය තමුන්ට බදු දීල තියෙන දෙයක් නෙවී. තමුන්ට අයිති දෙයක් නෙවී. මෙය රටේ ජනතාවට අයිති දෙයක්.”
- නීතිඥ වාසනා වික්‍රමසිංහ
ගුවන් විදුලියේ රාත්‍රියේ විකාශනය වන ගුවන් විදුලි නාට්‍ය ඇසීමට එදා පරපුරේ අය වගේම වර්තමානයේ බොහෝ පිරිස් තවමත් කැමතියි. ඔවුහු බොහෝ විට රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් නරඹනවාටත් වඩා රසාස්වාදයක් ගුවන් විදුලි නාට්‍ය තුළින් විඳගනිති.
“මං ආබාධිත ලේඛිකාවක්. ගුවන් විදුලියට මං ලියූ නාට්‍යවලට ජනතාව පුදුම විදියට වැළඳගත්තේ. බොහෝ චරිත මං ජීවත් වූ පරිසරයෙන් හොයාගත්ත ඒවා. ජනතා සම්මානයට මං ආදරෙයි.”
පරදුවේ රූපා කොඩිතුවක්කු
“ගුවන් විදුලියෙන් චේ ගුවෙරා වගේ නාට්‍යයක් නිෂ්පාදනය වෙනව කියන්නේ කියල වැඩක් නෑ. බොහෝ විප්ලවවාදීන් වගේ කතා කරන මිනිසෙක් හැටියට නෙවී චේව හඳුන්වන්න පුළුවන්. චේ කියන්නේ, මිනිසාගේ දුක තමුන්ගේ හදවතට අරගෙන ඔවුන් වෙනුවෙන් පෙනී හිටපු සැබෑ විප්ලවවාදියෙක්.”
“ප්‍රමෝද් චාරුන්ද්‍යා - සබරගමුව විශ්වවිද්‍යාලය
පළමුවරට ඉංග්‍රීසි බසින් ගුවන් විදුලි නාට්‍යයක් ලියා නිෂ්පාදනය කළේ ජේ. එස්. එම්. පීටර්ස් නම් සුදු මහතෙකු විසිනි. 1945 දී පමණ ජේ. විජේවීර මහතා සාලිය අශෝකමාලා නමින් ගුවන් විදුලි නාට්‍යයක් ප්‍රචාරය කොට ඇත. පසුව 1948 වසරේ සිට බොහෝ නාට්‍ය දැවැන්තයින් විසින් ලියා ප්‍රචාරය කොට ඇති බව ඉතිහාසගතය.
අදත් ගුවන් විදුලිය තුළ එක මසකට නාට්‍ය 17 ක් (බෞද්ධ නාට්‍යය, මහාවංශය, විශ්ව සාහිත්‍යයෙන් ගුවන් විදුලි රඟමඬල ආදී) ප්‍රචාරයට පමුණුවන ජාතික ගුවන් විදුලියේ නාට්‍ය අංශයේ පාලක වජිර ඉන්දික කරුණාසේන මහතා යටතේ ක්‍රියාත්මක වන්නේ ආදියේ පැවති නාට්‍ය ප්‍රමිතීන් ආරක්‍ෂා කරමින් සිංහල ජාතියේ සාහිත්‍ය සදාචාරයට අනුකූලව බව බොහෝ දෙනා පවසති.
“ඇත්තටම කේමදාස මාස්ටර් කියන්නේ නාට්‍ය සංගීතය ටෙලිනාට්‍ය, සිනමා සංගීතය වගේ ක්ෂේත්‍රවල විවිධ අත්හදා බැලීම් කරපු ගන්ධර්වයෙක් හැටියට මං දකින්නේ. ඉතිං ඒ ඇසුර නිසා සංගීතය තුළින් අර්ථවත් අලුත් දෙයක් නාට්‍ය ලෝකෙට කරන්න මට හැකි වුණා.”
නාට්‍ය අංශයේ පාලක – වජිර ඉන්දික කරුණාසේන
අඩසිය වසරක් තුළ වෙසක් තෝරණ් සඳහා නාට්‍ය පිටපත් 1000 ක් රචනා කළ දුර්ලභ කලාකරුවෙකි. මර්වින් සේනාරත්න මහතා ඓතිහාසික මාලා නාට්‍ය ක්‍රමය හඳුන්වා දෙමින් වීදිය බණ්ඩාර, වසුන්දරා, ස්වර්ණපාලි, සීගිරි කාශ්‍යප ආදී නාට්‍ය වසර 12 ක් පමණ ප්‍රචාරය කළ ඔහු මහාවංශය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් එක විට ලියා උණ්ඩා සම්මාන පවා දිනාගන්නා ලදී.
“අද මං ගොඩාක් සතුටුවෙනවා. වෘත්තීය මාධ්‍යවේදියෙක් හැටියට නාට්‍ය ක්ෂේත්‍රයෙන් ආපු ගමන දිහා ආපහු හැරල බලනකොට ගුවන් විදුලියෙන් මං නොකරපු දෙයක් නෑ කියල හිතෙනවා. මං කැමතියි වෙනස්වීමක් එක්ක වෙනස් වෙන්න. පදනමක් ඇතිව. මාධ්‍ය ආචාර ධර්ම රැකගෙන තාරුණ්‍යයට යමක් දෙන්න.
රංගන ශිල්පී – ලාල් සරත් කුමාර
“1965 න් සම්බන්ධ වුණු ගමන අද වෙනකොට හරි සුන්දරයි කියලා හිතෙනවා. ජීවිතයේ බොහෝ සාර්ථක භාවයන් ලබා ගත්තේ ගුවන් විදුලියෙන්. අද කොයිතරම් මාධ්‍ය කඩ තිබුණත් මේ සරසවියට ගහන්න කාටවත් බැහැ. ඒ තරමට මුවහත්. පුවත්පත් කලාවේදියෙක් හැටියට රංගන ශිල්පියෙක් හැටියට මේ ලබාගත් අත්දැකීම් තරුණ පරපුරට බෙදා හදා දෙන්න මං කැමතියි.
රංගන ශිල්පී – හිලේරියන් පෙරේරා
“මං ඉගෙන ගන්නේ 8 වැනි පන්තියේ. මං ගුවන් විදුලි වැඩසටහන් අහනවා. මං කැමතියි ඉල්ලීමක් කරන්න. අද හැම ක්ෂේත්‍රයකම ඇගයීමට ලක්කරල සම්මාන දෙනවා. අනේ මේ අපේ නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් ඒ මතකයේ රැඳෙන චරිත. ඒ ඇත්තන් ජීවත්ව ඉන්න කාලේ ඇගයීමක් කරනව නම් සම්මානයකින් හෝ වටිනාකමකින් ඒක තමා ඔවුන්ට කරන ලොකුම උපහාරය.
-මාතර ආකාශ් ගිම්හාන
ජාතික ගුවන් විදුලිය තුළ ජන හද ගැහෙනා රාවය හඳුනා ගනිමින් නව්‍යමය ඉසව්වකට ශ්‍රාවකයා රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට ඉන්දියාවේ එසෝෂියේෂන් ඔෆ් බිස්නස් කමියුනිකේටර්ස් ඔෆ් ඉන්ඩියා ආයතනය විසින් පිරිනැමෙන උපාය මාර්ගික ව්‍යාපාරික සන්නිවේදන සම්මානයෙන් පසුගිය දිනෙක පිදුම් ලැබීය. එය ජාතියේ වාසනාවකි. මෙතෙක් කලක් ජාතික ගුවන් විදුලිය ඉහළටම ඔසවා තැබූ ශ්‍රාවක ඔබට අපගේ හෘදයාංගම උත්තමාචාරය

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි