Friday, March 29, 2013

පෙර පාසලක නිදහස ශිෂ්‍යත්ව දරුවාටත් දෙන්න


පළමු වැනි ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීමට පෙර දෙවසරක්වත් පෙර පාසල් අධ්‍යාපනයක් නොලබන දරුවකු නැති තරම්. තම තමන්ගේ වත් පොහොසත්කම් අනුව මවුපියෝ දරුවන් පෙර පාසල් යවනවා. නගරබද පහසුකම් වැඩි නිසා පෙර පාසල්වලත් පහසුකම් වැඩියි. එහෙත් සමහර පෙර පාසල්වල පහසුකම් නැහැ. ගම්බද සමහර පෙර පාසල්වල එහෙමටවත් නැහැ. කොහොම වුණත් පෙර පාසල්වල උගන්වන ගුරුවරුන් බහුතරයකට ඒ පිළිබඳ විශේෂ දැනුමක් තිබෙනවා. විවෘත විශ්වවිද්‍යාලයෙන් පෙර පාසල් අධ්‍යාපනය ගැන ඩිප්ලෝමා ලබාගත් අයත්, එම අධ්‍යාපනය පිළිබඳ විශේෂිත වූ වෙනත් ආයතනවලින් පුහුණුව ලැබූ අයත් මේ කටයුතුවල නියැළෙනවා. ඇත්ත වශයෙන්ම නිසි දැනුමක් අවබෝධයක් නැති කෙනකු පෙර පාසල් අධ්‍යාපනයෙහි නියැළීම විශේෂ වරදක්. හේතුව දරුවාගේ ඉගෙනීමේ මුල පෙර පාසලින් ආරම්භ වන නිසයි.

නිසි වයසේදී මවුපියෝ දරුවන් පෙර පාසලට ඇතුළත් කරනවා. ඉගෙනුමේ මූලික අඩිතාලම දැමීමේ වගකීම එතැන් සිට පැවරෙන්නේ පෙර පාසල් ගුරුවරියටයි. පෙර පාසලෙන් විධිමත් පාසලට ඇතුළත් වන දරුවාගේ යම් මට්ටමක සංවර්ධනයක් තිබිය යුතුයි.

පෙර පාසලෙන් විධිමත් පාසලක පළමු වැනි පන්තියට ඇතුළත් කරන දරුවා පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරවීම මවුපියන්ගේ එකම බලාපොරොත්තුව බවට පත් වෙලා. ඒ නිසා පළමු ශ්‍රේණියේ පටන්ම උපකාරක පන්තිවලට යොමු කරවනවා.පෙර පාසලේදී නිදහසේ ළමාවිය ගත කළ, සතුටින් ඉගෙනුමට යොමු වූ දරුවාට එතැන් සිට ඒ සොඳුරු ලෝකය අහිමි වෙනවා.

පෙර පාසලෙන් දැනුම, කුසලතා, ආකල්ප සංවර්ධනය කිරීම ආයාසයකින් තොරව සිදු කළත් උපකාරක පන්ති ඇසුරේ එහෙම නිදහසක් නැහැ. අජටාකාශගාමියෙක් වගේ විශාල බෑගයක් කරේ එල්ලාගෙන බොහොම වෙහෙසකින් ගමන් කරන දරුවෝ අප නිතර දකිනවා. පාසල් බෑගයේ ප්‍රමිතිය ගැන කතා කළත් එහෙම දෙයක් නම් තවම ක්‍රියාත්මක නැහැ.

දරුවා සුපිරි පාසලකට ඇතුළත් කිරීමේ අරමුණම මුල් කරගෙන උගන්වනවාට වඩා පෙර පාසලක පැවැති නිදහස සහිතව කෙළිදෙළෙන් ශිෂ්‍යත්ව විභාගයට හුරු කරනවා නම් මීටත් වඩා වැඩි සිසුන් පිරිසක් ඒ විභාගය සමත් වෙනවා ඇති. දරුවන් දරුවන් ලෙස මිස ඔවුන් කුඩා මිනිසුන් ලෙස නොසිතන්න. නිදහසේ හිතන්නට, නිර්මාණයට ඉඩ දෙන්න. දරුවාට සාමාන්‍ය පරිසරයක ඉගෙනුමට උදවු කරන්න.


කොට්ටාව කුල සෙවණ මාවතේ
'දිලෙන තරු' පෙර පාසලේ
ප්‍රධාන ගුරුතුමී
නිරූපා පෙරේරා

Mawbima News Paper

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි