බඹරු නටන හැන්දෑවක ඇගැයුණු
ළමා පිටියේ අයියලා - අක්කලා
ජාතික ගුවන් විදුලියේ ළමා පිටිය ඔස්සේ හරවත්, දැනුම්වත් හා බලවත් ළමා පරපුරක් බිහිකරලීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් නිෂ්පාදක නිෂ්පාදිකාවනට උපහාර පිදූ හරසර උලෙළක් පසුගිය දිනෙක කොළඹ සවරින් හෝටලයේ දී පැවැත්වුණි. “හැත්තෑව දශකයේ ළමා පිටිය” සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැති එම උලෙළ හඳුන්වා තිබුණේ ‘බඹරු නටන හැන්දෑව‘ නමිනි. (එම යෙදුමට හේතු වූයේ ළමා පිටියෙන් බඹරු බිහිවීමක් නිසා නොව, එදින විශේෂ උපහාරය ලද මහින්ද අල්ගමයන් ‘රුක්අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ’ ගීතයේ රචකයා වීමය.
අල්ගම හැරුණු විට ප්‍රභා රණතුංග, අශෝක තිලකරත්න, පියදාස රත්නසිංහ, සුනෙත් ගෝකුල, සුනන්දා ධර්මපාල, සුමනා ජයතිලක හා කරුණාරත්න අබේසේකර ද උපහාර ලාභීන් අතර වූහ. සමරු පත්‍රිකාව ඒ සැම හඳුන්වා තිබුණේ ‘අයියලා සහ අක්කලා’ වශයෙනි. එය ළමා පිටියේත් පොදුවේ ගුවන්විදුලියේත් ඇමතුම් සිරිතයි. එහි සුහද - ළෙන්ගතු බවක් මෙන්ම ගෞරවාර්ථයක් ද ගැබ්ව තිබුණි.
70 දශකය ගුවන්විදුලියේ මෙන්ම ළමා පිටියේ ද ස්වර්ණමය යුගය ලෙස සැලකුව ද, එහි සේවාව ඉන් ඈතට දිව යයි. පසුකලෙක ශ්‍රී ලංකාව තුළ නම් දැරූ, රචකයින්, නළු නිළියන්, නිවේදක නිවේදිකාවන්, ක්‍රීඩා විස්තර විචාරකයන්, හඬ කැවීම් ශිල්පීන් හා ගායක ගායිකාවන් රැසක් ගුවන් ළමා පිටියෙන් බිහිවුණි. එම නාමාවලියේ ඉහළම තැන පසුවන්නී, නන්දා මාලනී යැයි සිතමි. ‘බඹරු නටන හැන්දෑවේ’දී ඇය කළ කෙටි දෙසුමේ හැම වැකියකින්ම පළවූයේ ගුවන්විදුලිය කෙරෙහි ඇති කෘතවේදීත්වයයි.
දැනට ගුවන් විදුලියේ සිටින, අඛණ්ඩ සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා මහින්ද අල්ගම නොහොත් ‘මහින්ද අයියා’ය. මෑතකදී රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී ද සම්මානයට පාත්‍ර වූ ඔහු බඹරුන්ගේ උලෙළේ ප්‍රධාන මාතෘකාව‘ බවට පත්ව තිබුණි.
මට මහින්දයියාත් සමඟ සමීපවන්නට ලැබුණේ ‘ළමා රංග පීඨයෙනි.’ සුගතපාල ද සිල්වා හැරුණු විට ගුවන්විදුලියේ මා දුටු දක්ෂතම නාට්‍ය නිෂ්පාදකවරයා ඔහුය.
දශක හතරක පමණ කාලයක් පුරා ගී ලියූවත්, මහින්ද අල්ගමගේ සියලු ගීත, කුඩා ග්‍රන්ථ දෙකකට සංගෘහිත කළ හැකිවෙයි. ‘තරුමුතු කුමරිය’ ළමා ගී එකතුව හා ‘චන්ද්‍ර මඩුලුයට’ ගේය පද එකතුව ඊට නිදසුන්ය.
ගුවන් විදුලියේ කොරිඩෝවේ උදේ හවා මුණගැසෙන ගායක ගායිකාවනට ගේය පද රචනා දුසිම් ගණනින් බෙදාදිය හැකිව තිබුණ ද මහින්ද අල්ගම තුළ එබඳු කලබලයක් හෝ උනන්දුවක් නොවීය.
’චන්ද්‍ර මඩුලු යට’ ග්‍රන්ථයේ පූර්විකාවක් වශයෙන් ඔහු යොදා ඇත්තේ ඩජිස්ථානයේ ජනතා කවියා ලෙස සැලකෙන රසුල් ගම්සටෝව්ගේ කවියකි. එහි සරල අරුත මෙබඳුය.
”මගේ සෑම පෙම් සිතිවිල්ලක්ම ගීයක් බවට පත්වූයේ නම් ඒ තරම් විශාල ගී කව් පොතක් ලොව තවත් නොතිබිය හැකිය. එහෙත් මගේ ගී පොත ඉතා කුඩාය. මම අලුතින් කිසිවක් නොලියමි. මා වඩා කැමැති ගීතයට වැය කරන කාලයත් ඔබ සමඟ ගත කිරීමටයි.”
මහින්ද, ගම්සටෝව්ගේ පැදිය තෝරා ගන්නේ එය තම ජීවන දැක්මට ළඟින් යන නිසා විය යුතුය. අල්ගම ද අලුතින් යමක් නොලියයි. ඔහු තමා ලියූ ඉතා හොඳ ගීත අහුරෙන් සෑහීමකට පත්වූවාක් බඳුය. නොඑසේ නම් ඔහු නූතන ගීත ක්ෂේත්‍රය ගැන කලකිරීමට පත්වීද? (1970 දි තම ශිෂ්‍ය අවධියේදීම, ‘නිම්වළල්ල’ චිත්‍රපටය සඳහා ‘නිසයුරු මුතුලැල් (සී.ටී.ප්‍රනාන්දු) ගීතය ලියමින් ගේය කාව්‍යයෙහිලා ඇති ප්‍රතිභාව පෙන්වූ මහින්ද ඉන්පසු කිසිදු චිත්‍රපට ගීතයක් නොලිවීම පුදුමයක් නොවන්නේ ද?
ලාංකේය සමාජ - දේශපාලනය තුළ වරින් වර ඇති වගා සංග්‍රාම, මහවැලි ව්‍යාපාර වැනි ව්‍යාපෘති සමකාලීන කලාකරුවන්ගේ ද කාලය හා ශක්තිය අපතේ යැවු බව මහින්දගේ ඇතැම් ගී තුළින් ද සනාථ වෙයි.
’ජීවිතය නැවතිලා - සුසුම් රැල් විමානේ’ යනුවෙන් මහින්ද ලියූ, අමරදේවයන් ගයන ගීය, ඔහුගේ සාංදෘෂ්ටික ජීවන දෘෂ්ටිය පිළිබිඹු කරවයි. මහින්ද සිගරැට් පැකට්ටුවක ලියූ කවක් මා සතුව ඇත.
’ප්‍රලාපයකි ජීවිතයම
නුරා විතෙක පෙණ බුබුළකි
මොහොතින් මොහොතට ළංවන
ගැටලු අතර වල්මත්වන
ප්‍රලාපයකි ජීවිතයම
නුරාවිතෙක පෙණ බුබුලකි’
එය මහින්දයියාගේ ජීවන දැක්මය. ඔහුගේ ජීවිතය ‘හරි අඩක් ගැයූ ගීතයක්’ බවට පත් කරන්නට ඇත්තේ එම ජීවන දැක්ම විසින් යැයි මට සිතේ.
Silumina
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි