Sunday, March 10, 2013

හඬ හරඹ කළ ලංකාවේ පළමු නිවේදිකාව


හඬ හරඹ කළ ලංකාවේ පළමු නිවේදිකාව

ප්‍රභා රණතුංග
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රවින්ද්‍ර ගුණසේකර මහතා මුණගැසුණ අවස්ථාවක ප්‍රභා රණතුංග නම් ලංකාවේ පළමු නිවේදිකාව පිළිබඳ පැවසීය. ඒත් සමඟ ඇය ගැන ලියන්නට ඇති වු සිත නිසා ඇය සොයා ගියෙමි. බොහෝ දෙනෙකුගෙන් ඈ පිළිබඳ තොරතුරු විමසූ මුත් නව පරපුරේ සමහරුන් ඇගේ නමවත් අසා නැති සැටියකි.
ගමේ පිපී සියලු බාධක බිඳ හෙළමින් නම රන් අකුරෙන් ලියැවූ රටක් ඇමතූ ඒ හඬ අවදි කරගනු වස් මා රංජිත් එදිරිසිංහ මහතාගේ උදව්වෙන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඇගේ නිවහන සොයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල මාවතේ (සෝරත මාවතේ) මැද මාවත පිහිටි 30/13 නිවහන සොයා පිය නැඟුවෙමි. මා එනතෙක් උඩු මහලට වී බලා සිටි ඇය මාගේ පැමිණීම සුහදව පිළිගන්නී කතාවට මුල පිරුවාය.
1928 සැප්තැම්බර් 01 වෙනිදා මතුගම හොරවල ප්‍රදේශයේදී හෙලේනා පෙරේරා හා එච්. එමිස් පෙරේරා යුවළට තුන්වෙනි දරුවා ලෙසින් හෙට්ටිආරච්චි ගේ ප්‍රභා මේබල් පෙරේරා නමින් උපත ලැබූ ඇය, පානදුර ශ්‍රී සුමංගල බාලිකාවෙන් සිප් සතර හදාරා ඉහළින් සමත් විය. අනතුරුව 1945 දී ඉංග්‍රීසි ආණ්ඩුව පාලනය කළ සමයේ එවකට සිලෝන් යුනිවර්සිටි නමින් හඳුන්වන වර්තමාන කොළඹ විශ්වවිද්‍යාලයට තේරිපත්විය.
නම - හෙට්ටිආරච්චිගේ ප්‍රභා මේබල් පෙරේරා
මව - හෙලේනා පෙරේරා
පියා - එච්. එමිස් පෙරේරා
පාසල – පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල
වි.විද්‍යාලය - කොළඹ සරසවිය
වෘත්තිය – ගුරු වෘත්තිය, ගුවන්විදුලි නිවේදිකා
ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමට පෙර හා නිදහස ලබා ගැනීමෙන් පසුව යන සුවිශේෂ කාල සීමාව තුළ එවකට පැවති විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම ඇයගේ ජීවිතයේ අමතක නොවන කාල වකවානුවක් වනවා සේම ඓතිහාසික විශ්වවිද්‍යාල සිසු පරපුරකටද ඇතුළත් වෙයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ ඇය උපාධිය නිම කිරීමත් සමඟම තම පළමු පත්වීම ලෙස මතුගම ආනන්ද ශාස්ත්‍රාලයට ගුරුවරියක ලෙස පත්විය.
පසුව එවකට පැවති එකම ගුවන් විදුලි නාලිකාව වු ද රේඩියෝ සිලෝන් ආයතනයට නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නා පුවත අසා අයදුම්පතක් යොමු කළේ තමා කුඩාකල පටන් ලලිත කලාවත් ප්‍රියා කළ නිසාමය. කුඩා කල පටන් තම අයියා හා මල්ලි සමඟින් සංගීතයේ යෙදුණු ඇය ද රේඩියෝ සිලෝන් ආයතනයේ පළමු පරීක්ෂණයෙන්ම ඉහළින්ම සමත්විය.
ඒ අනුව දෙදෙනකුගෙන් පටන් ගත් රේඩියෝ සිලෝන් ආයතනයට බැඳී පළමු නිවේදිකාව වෙමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට මුලින්ම එක්විය. ඉංග්‍රීසි ජාතිකයන් විසින් පාලනය කළ රේඩියෝ සිලෝන් ආයතනය 1950 වනවිට ප්‍රතිසංස්කරණය වෙමින් පළමු සිංහල අධ්‍යක්ෂකවරයා වු එම්. ජේ. පෙරේරා මහතා යටතේ තම නිවේදන කාර්යය අකුරටම ඉටුකළ ඇයට පසුව කාන්තා හා ළමා අංශය භාරවිය. ශ්‍රී ලංකා ගුවන් විදුලිය නමින් ප්‍රතිසංවිධානය වු එහි මුල්ම ළමා වැඩසටහන් හා කාන්තා වැඩසටහන් අධ්‍යක්ෂවරියද ඇයම විය.
“වනිතා ලංකා” නම් කාන්තා වැඩසටහනක් පටන් ගත් ඇය පසුව කොළඹටම සීමාවු කාන්තාවක් ගැන කතා කිරීම පසෙක තබා කොළඹින් ගමට ගොස් ගමේ දුක්විඳින එඩිතර ක්‍රියාශීලි කාන්තාවන් සොයා පටිගත කිරීමේ යන්ත්‍රයක්ද රැගෙන පිය මැන්නාය. ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ පොල්ලෙලි තලන කාන්තාවක් හමුවීමට ඇය පළමුවෙන්ම පිය නැඟුවාය. ඒ තුළින් ඇය ලැබූ තෘප්තිය අතිමහත්ය. නිතරම අලුත් දෙයක් කිරීම හා වැඩක් ඇති දෙයක් කිරීම ඇගේ ප්‍රධාන අරමුණ විය.
ළමා අංශයේ දින 7 ට වැඩසටහන් 7 ක් ඉදිරිපත් කරමින් ළමා අංශයේ සුවිශේෂි මතකයක් එකතු කිරීමට ඇය සමත්විය. බෝසත් ළමා ළපටියෝ, බදාදා සඟරාව, ටිකිරි සිනා හා සංගීත සැන්දාව වැනි ළමා වැඩසටහන් දිනෙන් දිනම දියුණු මට්ටමට පත්කර ගනිමින් බොහෝ ශ්‍රාවක ප්‍රතිචාර දිනාගනිමින් ගුවන් විදුලිය වටා බොහෝ පිරිසක් ඒකරාශි කර ගැනීමට සමත්විය.
50 දශකය වනවිට ආරම්භ කළ ළමා පිටියෙන් මුලින්ම පැමිණි ළමුන් ලෙස එරංගනා අශෝකා මල්හෙට්ටි, චිත්‍රා කුමාරි කළුබෝවිල, සමන් ආතාවුදහෙට්ටි, නන්දා මාලනී, සරත් දසනායක යන අය පසුකලෙක ගුවන් විදුලියේම ප්‍රවීණයන් බවට පත්විය. ඒ වනවිට නීතිඥ යූ. සිරිසේන පෙරේරා (සිරි අයියා) ද ළමාපිටිය වැඩසටහන දියත් කරමින් හිඳි බව ද ඇය සිහිකරන්නේ මහත් අභිරුචියෙනි.
‍ෙත්විස් ගුරුගහො එම මැතිනිය සමග
ප්‍රභා සිය සැමියා කේ.ඩබ් රණතුංග සමග
විලියන් බොරලැස්ස, සුනිල් ශාන්ත, අමරදේව යන ගායක ගායිකාවන් දිනපතා සහභාගි වී ගීත ඉදිරිපත් කරන අතර එම වැඩසටහන් රොස්මන්ඩ් හා නාරද දිසාසේකර යන අයගේ තාක්ෂණික මෙහෙයුමෙන් විකාශනය වන්නේ ප්‍රභා රණතුංග ගේ නිවේදන කටයුතුවලිනි.
පසුකලෙක ඉන්දියාවෙන් ගෙන්වන ලද රතන ශංකර් විසින් ගීත තේරීම දැඩි සේ හෙලා දුටු ජාතිකාභිමානය පිළිබඳ මහත් හැඟීමකින් කටයුතු කළ සුනිල් ශාන්තයන් රතන ශංකර්ගේ පැමිණීමත් සමඟ ගුවන් විදුලියෙන් ඉවත්විය. ඉන්පසු වසර ගණනාවක් යනතුරු ඔහුගේ හඬ අසන්නට නොලැබීම ගැන ඇය පවසනුයේ මහත් සංවේගයෙනි.
සුනිල් ශාන්තයන් පසුව නැවත එක්වූවේ රතන ශංකර් ඉවත්ව යාමෙන් පසුවය. නමුදු ඔහු නැවත පැමිණෙන විට එම මිහිරි හඬ ඒ අයුරින්ම නොතිබීම ගැනද ප්‍රභා රණතුංගයන් පවසන්නේ මහත් වු දොම්නසකිනි.
1968 දී ශ්‍රී ලංකා ගුවන් විදුලිය ගුවන් විදුලි සංස්ථාවක් බවට පත්වීමත් සමඟ එහි මුලිකත්වයක් ගනිමින් ඇප කැපවුවන් අතර ප්‍රභා රණතුංග යන නමද ඉතිහාසගත වනු ඇත. 1950 දී ප්‍රභා පෙරේරා ලෙස රේඩියෝ සිලෝන් වෙතට පැමිණෙන ඇය පසුකලෙක ගුවන්විදුලියේම වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ලෙස ගම්පහ අස්ගිරියෙන් පැමිණි ඩබ්. එම්. රණතුංග යන අය සමඟ ඇතිවු සබඳතාවයකින් පසුව විවාහ වී ප්‍රභා රණතුංග බවට පත්විය.
විවාහ වීමෙන් පසු ඈ හැව්ලොක් ටවුන්හි පදිංචි විය. අද වනවිට ශීඝ්‍ර දියුණුවක්ව පවතින ප්‍රවාහන සේවයක් එකල නොවූයෙන් ඇය ගුවන් විදුලියෙන් යාමට ඒමට පාවිච්චි කර තිබුණේ රික්සෝ කරත්තය යි. ගුවන් විදුලියෙන් සවස 7.30 ට වැඩසටහන් නිමකර මඟට බහින ඇය රික්සෝවෙන් 8.30 වනවිට නිවසට පැමිණෙන අයුරු සිහිපත් කරනුයේ රසවින්ඳනාත්මකවය.
වසර 23 ක් පමණ වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් නිවේදන කටයුතු හා ප්‍රවෘත්ති විකාශනයන්ට මදකට සමුදෙමින් 1973 දී ගුවන් විදුලි අභ්‍යාස ආයතනය භාර ගනිමින් අලුතින් පැමිණෙන නවකයන් පුහුණු කිරීමේ කටයුතුවලට නව මුහුණුවරක් දීමට සිතීය. ඒ අනුව තේවිස් ගුරුගේ මහතා අධ්‍යක්ෂක ධුරයේද ප්‍රභා රණතුංග නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයේද හිදිමින් ගුවන් විදුලි අභ්‍යාස ආයතනය බොහෝ දියුණුවකට පත්කරන ලදී.
මේ අනුව 1977 දී අප්‍රිකානු හා ආසියානු රටවල් අතරින් එක් ගුවන් විදුලි මාධ්‍යවේදියෙකු බැගින් තෝරා ඔස්ට්‍රේලියාවේදී පවත්වන ලද පුහුණු වැඩසටහන සඳහා ද ලංකාවෙන් තේරිපත්වුයේ ප්‍රභා රණතුංගයන්ය. 1973 සිට 1981 දක්වාම ගුවන් විදුලි අභ්‍යාස ආයතනය තුළ කටයුතු කරමින් හිඳි ඇය ඒ අතර රූපවාහිනි පුහුණුවක්ද හදාරමින් 1981 දී ගුවන් විදුලියෙන් විශ්‍රාම
77 අප්‍රිකානු හා ආසියානු රටවල මාධ්‍යවේදී පුහුණුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රථම මාධ්‍යවේදිනිය.
( දකුණේ සිට හය)
ගන්නා ලදී. නොකඩවා වසර 31 ක් ගුවන් විදුලියේ සේවය කළ ඇය 1981 දී ගුවන් විදුලියෙන් සමු ගැනීමත් සමඟ ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනි සේවයට එක්වෙමින් එහි පළවෙනි ළමා වැඩසටහන් නිෂ්පාදකවරියද විය. ඒ සුමනා නෙල්ලම්පිටිය පළමු නිවේදිකාව ලෙසින් ස්වාධීන රූපවාහිනිය තුළ කටයුතු කරන සමයේය.
84 වියේ පසුවන ඇයට හිමි නාමය අද උපදින දියණියකට වුවද ගැළපේ යැයි සිතේ. නමේ අර්ථයට ගැළපෙන අයුරින් පසුකලෙක ආලෝකමත්ව මුළු රටම බැබලවමින් ලංකා ඉතිහාස පොතට එක්වන ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි. එක් දුවක් හා පුතුන් දෙදෙනකුගේ මවක් වන ඇගේ දරුවන්ගෙන් දෙදෙනකුම ප්‍රදේශයේ පදිංචිව සිටී. එකම දියණියද වසර 10 ක් විදේශගතව පදිංචිව සිට දැනට කෝට්ටේ ප්‍රදේශයේ ආසිරි රෝහලේ රෝහලේ වෛද්‍යවරයකු සමඟ විවාහ වී හිඳී. ඇය අනුරාධි රණතුංගය.
ප්‍රභා රණතුංග නම් වු ඇය උතුම් වූ සමාජ මෙහෙවරක යෙදුණ කාන්තාවකි. තම සහෝදරයන් සමඟ එකතු වී තමාට හිමි අක්කර 7 ක පමණ මතුගම ප්‍රදේශයේ ඉඩම් ප්‍රමාණයක් උන්හිටි තැන් නොවූ අසරණ ජනතාව වෙත බෙදා දී ඇත්තේ වර්තමානයේ දේශපාලනඥයෙකු අතින්වත් සිදුනොවන කර්තව­්‍යක් සිහි ගන්වමිනි. කිසිදා තමා වෙනුවෙන් ප්‍රසිද්ධියක් හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවූ ඇය 84 වන වියේ පසුවූවද ප්‍රබල මතක ශක්තියක් යුතු තැනැත්තියකි. ප්‍රසිද්ධිය පසුපස නොගිය ඇය හුදකලාව ගත කරන්නේ ඇගේ සැදෑ සමයේ විවේකය නිදහසේ ගත කිරීමටය. වර්තමාන පරපුරේ මාධ්‍ය භාවිතය පිළිබඳවද ඇය හොඳ විමසිල්ලකින් පසුවෙයි.
මම වර්තමාන නිවේදක නිවේදිකාවන්ට දෙන පණිවුඩය තැන්පත්ව හෙමිහිට තම වචන හසුරුවන්න කියලා. ගාල කඩාගෙන යනවා වගේ මහ හුඟක් කියවන්න අවශ්‍ය නෑ. ඕනවට වඩා කැපී පෙනෙන්න, දන්නවා කියලා පෙන්නන්න ගියහම දන්නේ නැති බවමයි ප්‍රේක්ෂකයාට අසන්නාට දැනෙන්නේ. ඒ නිසා වැඩියම කතා නොකර අවශ්‍ය දේ විතරක් කරන්න. අනවශ්‍ය දේ කරන්න යන්න එපා කියලා මම කියනවා. මම ක්ෂේත්‍රයට එනකොට අද වගේ දැනුම එකතු කරන්න දේවල් තිබුණේ නෑ.
ඒත් අපි නිතරම දැනුම හෙව්වා. ඒ නිසා මම කියන්නේ වර්තමාන පරපුරට නිතරම දැනුම හොයන්න පුරුදු වෙන්න කියලා. අද ඒවාට ඕන තරම් ඉඩ තියනවා. ඔය ෆේස් බුක් වගේ දේවල්වලට ගිහින් දැනුම හොයන්න බෑ. ඉන්ටර්නෙට් හොඳයි. ඒත් මම ෆේස් බුක් අනුමත කරන්නේ නෑ. ඒක දියුණුවට වඩා වත්මන් පරපුර විනාශ වෙන්න මඟක්. තමන් කවුද කියලා ලෝකෙට කියන්න ඕන නෑ. තමන් හරිදේ කළාම ලෝකෙන් තමන් කවුද කියලා කියයි. රණවිරු රියල්ස්ටාර් වැනි වැඩසටහන් මම ඉතා ඉහළින් අගය කරනවා. දක්ෂතා තියන අය ක්ෂේත්‍රයට අඳුන්නලා දෙනවට.”
ඒවගේම මම තව දෙයක් කියනවා. තමන්ට පුළුවන් තරම් කල් ක්ෂේත්‍රයට වැඩ කරලා තමන්ට බැරිවුණාම අලුත් අයට තැන දීලා ඉවත්වෙන එකත් හොඳ දෙයක් කියලා මම හිතනවා. ඒක හැමෝම හිතන්නේ නැහැ. අනික තමා තමන් ජනප්‍රිය වුණොත් තමන්ගේ දරුවනුත් ජනප්‍රිය කරවන්නම ඕන කියලා මම හිතන්නේ නෑ.
මමයි මගේ මහත්තයයි දෙන්නම ඒ අදහසින් බැහැරව දරුවන්ට ඕනම ක්ෂේත්‍රයකට යන්න නිදහස් දීලා තිබුණා. හේම නලින් කරුණාරත්න කියන්නේ මගේ අක්කගේ පුතා. ඒත් එයා ක්ෂේත්‍රයට ආවෙත් මම හරහා නො‍ෙව්. එයාගෙම සහජ දක්ෂතාවලින්. එයා ආනන්දෙ ඉගෙනගන්න කාලෙම රූපවාහිනි වැඩසටහනක් නිෂ්පාදනය කරලා තිබුණා. අද එයා තමන්ගේ හැකියාවෙන් හොඳ තැනක ඉන්නවා.
ඉතින් ඉතුරු අනාගත කාලේ මට කියලා ඉතුරුවේච්ච බලාපොරොත්තුවක් නැහැ. කරන්න පුළුවන් යමක් ක්ෂේත්‍රය වෙනුවෙන් කළා. ඒගැන තෘප්තිමත් වෙනවා. මට අවසාන වශයෙනුත් කියන්න තියන්නේ ගුවන් විදුලියේ වැඩ කරපු කාලේ හැම සිදුවීමක්ම හරිම සුන්දරයි. හරිම රසවත්. අදටත් ඒ සිදුවීම් සිහිකිරීම මට තෘප්තියක්.
විශේෂ ස්තුතිය – ඇයව සොයා දීමට වෙහෙසුණ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදිකා මහේෂා අපෝන්සු මහත්මියට, ගුවන් විදුලි සංස්ථාවේ තබ්ලා වාදක තලවතුගොඩ ජයසිංහ මහතාට
.
Dinamina

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි